hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 15, පෙ.ව. 5:55



විද්‍යුත් මෝටර් රථ එකලස් කිරීම මෙන් ම දේශීය වශයෙන් භාවිතය ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය දිරිගැන්වීම් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඊයේ (14) 2023 අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

ඒ අනුව, මෝටර් වාහන එකලස් කිරීම සිදුකරනු ලබන ආයතන විසින් අවම වශයෙන් සියයට 25ක දේශීය අගය එකතු කරන සහ එයට අවශ්‍ය කොටස් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ආයතන සඳහා පමණක් සමාජ ආරක්ෂණ බද්ද ඉවත් කිරීමට නියමිතයි.

එහිදී දේශීය විද්‍යුත් මෝටර් රථ උපාංග නිෂ්පාදන කර්මාන්තයේ දියුණුව සඳහා දේශීය අගය එකතු කිරීම සහ දේශීයව නිෂ්පාදිත විද්‍යුත් මෝටර් රථ උපාංග භාවිත කරනු ලබන බව සහතික කිරීම සඳහා සියලුම ලියාපදිංචි විද්‍යුත් මෝටර් රථ උපාංග නිෂ්පාදකයින් සහ අනුමත දේශීය විද්‍යුත් මෝටර් රථ එකලස් කරන ආයතන සම්බන්ධ කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ පද්ධතියක් ස්ථාපනය කිරීමට ද යෝජනා කර තිබෙනවා.

යෝජිත තොරතුරු පද්ධතිය යටතේ තීරු බදු සහන සඳහා සෑම විද්‍යුත් මෝටර රථ එකලස් කරන ආයතනයක් විසින් ම දේශීයව ලබාගන්නා මෝටර් රථ උපාංගවල වටිනාකම සහ එකලස් කරනු ලබන මෝටර් රථවල දේශීය අගය එකතු කිරීමේ ප්‍රතිශතය ස්වයංක්‍රීයව සහතික කිරීමට ද හැකිවන පරිදි පද්ධතිය සකස්කළ යුතු බවත් මෙම පරිගණක තොරතුරු හුවමාරු ක්‍රමවේදය කර්මාන්ත අමාත්‍යංශය මගින් සංවර්ධනය කර නඩත්තු කළ යුතු බවත් ජනාධිපතිවරයා කියා සිටියා.