hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ඔක්‍තෝබර් 25, ප.ව. 5:36



කොළඹ නගරයේ ඉදිකර ඇති විශාල ගොඩනැගිලිවල වාහන නැවතුම් සඳහා වෙන්කර ඇති ස්ථාන වෙනත් ව්‍යාපාරික කටයුතු සඳහා යොදා ගැනීම පිළිබඳව කොළඹ මහ නගර සභාව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම ගොඩනැගිලිවල සැලසුම් අනුමත කිරීමේ දී වාහන නැවතුම් සඳහා පහත මාලයේ ස්ථාන වෙන්කර තිබෙන බවයි වාර්තා වන්නේ. එහෙත් වර්තමානයේ වාහන නැවතුම් ස්ථානවල වෙළෙඳසල්, කාර්යාල, සුපිරි වෙළෙඳසල් ඉදිකර ඇති බවට වූ පැමිණිලි මහ නගර සභාවට ලැබී තිබෙනවා.

ඒ අනුව එවැනි ගොඩනැගිලි පිළිබඳව අධ්‍යයනයක් ආරම්භකර තිබෙන අතර එම අධ්‍යයනයෙන් පසු ගොඩනැගිලි හිමියන්ට නඩු පවරන බව නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය කියා සිටියා.

මේ අතර කොළඹ රථවාහන ගාල්වලින් වසරකට රුපියල් මිලියන දෙසීයක ඇස්තමේන්තුගත ආදායමක් ලැබෙන බව කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉංජිනේරු රථවාහන සැලසුම් හා මාර්ග ආරක්ෂණ මංජුල කුලරත්න මහතා පෙන්වා දෙනවා.

දැනට කොළඹ නගරයේ වාහන නැවතුම් ස්ථාන හත්දහසක් පමණ ඇති අතර 2010 වසර වන විට ඒවායෙන් වාර්ෂිකව උපයා ගන්නේ රුපියල් මිලියන තිස්හයක මුදලක් වුවත්, එම ආදායම මෙසේ ඉහළ නැංවීමට හැකියාව ලැබී ඇත්තේ ක්‍රමවත් ලෙස වාහන නැවතුම් සඳහා ස්ථාන වෙන්කිරීම නිසා බවද මංජුල කුලරත්න මහතා ප්‍රකාශ කළා.

මෙම වාහන නැවතුම්පොළවලින් වැඩිම ආදායමක් ලැබෙන ස්ථාන ලෙස පිටකොටුව සහ කොටුව හඳුනාගෙන ඇති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා හෙළි කළා.

වසර දහයකට පමණ පෙර මෙම රථවාහන ගාල්වල මුදල් අයකර ගැනීමට නගර සභාවේ සේවකයන් යොදවා සිටි අතර එම කාර්යයන්වල තිබූ අක්‍රමිකවත්භාවය නිසා ටෙන්ඩර් කැඳවා පුද්ගලික ආයතන වෙත රථ ගාල් ලබාදීමෙන් අනතුරුව එම ක්‍රියාවලිය ක්‍රමවත් වී ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැවසුවා.