hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 අගෝස්‍තු 09, ප.ව. 4:51



ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් බලපත්‍ර ලාභී වාණිජ බැංකුවල සියලුම රුපියල් තැන්පතු සඳහා අදාළ වන පරිදි විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීම සම්බන්ධයෙන්.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2023 අගෝස්තු මස 08 වන දින පැවති රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව, 2023 අගෝස්තු මස 16 වන දින ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාලපරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 4.00 සිට සියයට 2.00 දක්වා පදනම් අංක 200 කින් අඩු කිරීමට තීරණය ක‍ර ඇත.

මහ බැංකුවේ වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූලව, බැංකු පද්ධතිය සඳහා ද්‍රවශීලතාව සැපයීම සහ වෙළෙඳපොළ ද්‍රවශීලතා හිඟය ස්ථිර පදනමින් තවදුරටත් අඩු කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබෙනවා.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙහි මෙම අඩු කිරීම මඟින් දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 200ක පමණ ද්‍රවශීලතාවක් මුදාහැරීමට අපේක්ෂා කරනු ලබන අතර, එමගින් වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස වෙළෙඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් පහත හෙළීමටත්, ආර්ථිකයට ගලා යන ණය ප්‍රවාහ ප්‍රසාරණය කිරීමටත් හැකි වනු ඇත. 

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීමේ වාසිය බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ප්‍රමාදයකින් තොරව සිය ගනුදෙනුකරුවන් වෙත ලබාදීම අපේක්ෂා කරන අතර, මහ බැංකුව විසින් වෙළෙඳපොළ වර්ධනයන් අඛණ්ඩව අධීක්ෂණය කරමින්, අවශ්‍ය වුවහොත් වෙළෙඳපොළ ණය අනුපාතික අඩු වීමේ ශීඝ්‍රතාව තහවුරු කිරීම සඳහා සුදුසු නියාමන ක්‍රියාමාර්ග ද ගනු ලබනු ඇති බවද මහ බැංකුව තවදුරටත් පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: