hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 මාර්තු 21, ප.ව. 1:43



විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාව ප්‍රති ව්‍යුහගතකරණ වැඩපිළිවෙළ අඩියක්වත් ආපස්සට ගන්න සූදානම් නැතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ජාත්‍යන්තර සැපයුම්කරුවන්ට ඉන්ධන සැපයුම් වෙළෙඳපොළ විවෘත කිරීමට කටයුතු කරන බවත් එලෙස සිදු කරන්නේ තෙල් පිළිබඳ තරගකාරිත්වයක් ඇති කිරීමට බවත් ඔහු සඳහන් කළා.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඛනිජ තෙල් සම්පත් පනත යටතේ නියෝග පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයේදීයි.

“පාරවල්වල උද්ඝෝෂණය කරලා විදුලියේ ස්වීච් ඕෆ් කළාම රටට ආයෝජකයෝ එන්නේ නැහැ. සමහර දේශපාලන පක්ෂ කරන්නේ ඒ වැඩේ. දේශපාලන පක්ෂ මෙහෙයවන වෘත්තීය සමිති තියෙනවා. සමහරු පළාත් පාලන මැතිවරණයට පවා ඉදිරිපත් වෙලා තියෙනවා. මූල්‍ය අරමුදලේ මුදල් එනකොට ඒ අයගේ එක සටන් පාඨයක් නැති වෙනවා. ඉන්ධන මිල අඩු වෙන කොට තවත් සටන් පාඨයක් නැති වෙනවා. බඩු මිල අඩු වෙනකොට තවත් සටන් පාඨයක් නැති වෙනවා. ඒ නිසා මේ අය දැන් කුලප්පු වෙලා. තර්ජන ගර්ජන කරනවා. රටට කුමක් වුණත් කමක් නෑ තමන්ට බලයට ගන්න පුලුවන් නම්. වර්ජන තර්ජන කරනවා.” යැයි අමාත්‍යවරයා සඳහන් කළා.

ප්‍රති ව්‍යුහගතකරණ අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් බවත් තරඟකාරීත්වයක් ඇති කිරීමේ අරමුණින් ජාත්‍යන්තර ඉන්ධන සැපයුම්කරුවන්ට අවස්ථාව ලබා දීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය වසරේ මැයි මාසයේදී තීරණයක් ගත් බවත් ඔහු කියා සිටියා.

ඒ අනුව ඉදිරි සති දෙක තුන ඇතුලත බලශක්ති කමිටුව තුලින් තෝරා ගත් නව සැපයුම්කරුවන් තිදෙනා ලංකාවේ වෙළෙඳපොලට හදුන්වාදීමට සූදානම් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.