hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජූනි 01, ප.ව. 4:36



පුවක් ගෙඩියක තොග මිල පහත වැටීම නිසා තමන් අන්ත අසරණ වී ඇතැයි ඌවපරණගම පුවක් වගාවේ නියුතු පිරිස් මැසිවිලි නඟනවා.

ඌවපරණගම, මස්පන්න, ගලනිය, වැතලාව, බඹරපාන, මැදිපොකුණ, රත්කිඳ  ආදී ප්‍රදේශයන්හි සුලබව පුවක් වගාව දැක ගත හැකි අතර ඉඩම්වල මායිම්වල මෙලෙස පුවක් වගාව බහුලව සිදු වෙනවා.

මේ වන විට පුවක් ගෙඩියක තොග මිල රුපියල් දෙකයි පනහත් රුපියල් තුනයි පනහත් අතර මිලක පවතින අතර පෙර වර්ෂයේ මේ දිනවල පුවක් ගෙඩියක තොග මිල රුපියල් 7ත් 10ත් අතර මිලක පැවැති බවත් ඔවුහු පවසනවා.

මෙයට හේතුවක් ලෙස පුවක් වගාවේ නියුතු පිරිස කියා සිටින්නේ, පුවක් තොග ගෙන යෑම සඳහා තම ගම්මානවලට වෙළෙඳුන් පැමිණීම අඩුව පැවැතීම මෙම මිල පහළ යෑමට හේතුවක් වී ඇති බවයි.

මෙලෙස පිට පළාත් වෙළෙඳුන් පැමිණීම අඩු වීම නිසා පැමිණෙන වෙළෙඳුන් තුට්ටු දෙකට තම අස්වැන්න ඉල්ලන බවත් ජනතාව පවසති. මීට අමතරව පුවක් ගෙඩි රිළවුන් විසින් විනාශ කිරීම නිසාද තම අස්වැන්නට හානි වී ඇතැයි ඔවුහු පෙන්වා දෙනවා.

පුවක් මිල පහළ යෑම හේතුවෙන් බොහෝ ගම්වාසීන් පුවක් වේළා කරුංකා කර විකිණීමට උත්සාහ කරන බවත් පිටරටවලින් කරුංකා ආනයනය කරන බවට පවතින ආරංචි නිසා ඒවාද අඩු මිලකට ලබාදීමට සිදුව ඇති බවත් ඔවුහු සඳහන් කළා.

තම ප්‍රදේශවල ජනතාවගේ ආර්ථිකයට තදින්ම බලපාන මේ පුවක් මිල පහළ යෑම නවතා ජනතාවට ආර්ථිකමය වශයෙන් ලාභයක් වන සේ පුවක්වලට ඉහළ මිලක් ලබා ගැනීමට යම් වැඩපිළිවෙළක් සකස් කර දෙන මෙන් ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.