hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 ජූනි 29, ප.ව. 1:21



2021 වර්ෂයේ සියයට 4.3 ක් ලෙස පැවත ආර්ථික වර්ධන වේගය මෙම වසරේ පළමු කාර්තුවේ සියයට 1.6 ක පසුබෑමක් පෙන්නුම් කරන බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. 

නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල සහ ස්ථාවර මිල යටතේ දළ දේශීය නිෂ්පාදිතය, දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. 

එහි සඳහන් වන්නේ ඉකුත් වසර දෙක පුරා පැවති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ගත කළ දුෂ්කර කාල පරිච්ඡේදය හේතුවෙන් පසු බෑ ආර්ථිකය යථාතත්ත්වයට පත්කර ගැනීම සදහා මෙරට ආර්ථිකය ඉදිරියට යමින් තිබූ බවයි.

එහෙත් උද්ධමනය, රුපියල අවප්‍රමාණයවීම, ඩොලර් හිගය, විදෙස් ප්‍රේෂණ හා සංචාරක ආදායම් අවමවීම වැනි සාධකවල ප්‍රබල බලපෑම හේතුවෙන් මෙම වසරේ මුල් කාර්තුව තුළදී අපේක්‍ෂිත ඉහළ ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමට අපොහොසත් වී ඇති බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන්.

මෙම වසරේ පළමු කාර්තුවේ රසායනික පොහොරය හිගය කෘෂිකාර්මික කටයුතුවලටද ප්‍රමුඛ බලපෑමක් එල්ලවීම හේතුවෙන් මෙරට වී වගාවෙහි සැලකිය යුතු පසුබෑමක් වාර්තා වනවා. ඒ  අනුව 2015 සිට මේ දක්වා පළමු කාර්තුව සදහා කෘෂිකාර්මික ආර්ථික කටයුතුවලට වාර්තා වූ ඉහළම පසුබැස්ම මෙම කාර්තුවේ වාර්තා වූ බවයි ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන්,

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2022 පළමුවන කාර්තුව (ජනවාරි 1 සිට මාර්තු 31) සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල සහ ස්ථාවර මිල (2015) යටතේ දළ දේශීය නිෂ්පාදිතය, දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශකය ඇස්තමේන්තු කර නිකුත් කර ඇත.

2022 වර්ෂයේ පළමු කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කිරීම පිලිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරන්නේ, මෙම කාර්තුව තුළ ආර්ථික වර්ධන වේගය 2021 වර්ෂයේ පළමු කාර්තුව හා සසඳන විට සියයට 1.6 කින් සංකෝචනය වී ඇති බවයි.

කෙසේ වුවද 2022 වර්ෂය උදාවත් සමඟ පසුගිය 2020 හා 2021 වර්ෂ පුරා පැවති කොරෝනා වසංගත තත්වය හමුවේ ගතකළ දුෂ්කර කාල පරිච්ඡේදය හේතුවෙන් පසුබැසි ආර්ථික කටයුතු යථා තත්වයට පත්කර ගැනීමේ අරමුණින් යුතුව, ශ්‍රී ලංකා ආර්ථිකය ඉදිරියට ගලා යමින් පැවතිණි. එහෙත් අවාසනාවන්ත ලෙස උද්ධමනය, රුපියල අවප්‍රමාණය වීම, ඩොලර් හිඟය, විදෙස් ප්‍රරේෂණ හා සංචාරක ආදායම අවම වීම වැනි සාධකවල ප්‍රබල බලපෑම හේතුවෙන් මෙම කාර්තුව තුළදී අපේක්ෂිත ලෙස ඉහළ ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමට අපොහොසත් විය.

මෙම කාල පරිච්ඡේදය තුළ පැවති රසායනික පොහොර හිඟය සෘජුව කෘෂිකාර්මික කටයුතු කෙරෙහි ප්‍රමුඛ බලපෑමක් ඇති කරන ලද අතර මෙරට ප්‍රධාන ආහාරය වන වී වගාවෙහි සැළකිය යුතු පසුබෑමක් මෙම කාර්තුව තුළ වාර්තා විය. එසේම 2015 සිට මේ දක්වා පළමු කාර්තුව සඳහා කෘෂිකාර්මික ආර්ථික කටයුතුවල වාර්තා වූ ඉහළම පසුබැස්මද මෙම කාර්තුව තුළ සටහන් විය.

ඉන්ධන ආනයනයට මතු වූ විවිධ බාධා හේතුවෙන් බොහෝ නිෂ්පාදන, ඉදිකිරීම් හා සේවා කර්මාන්තවල නිෂ්පාදන කටයුතු අඩාල වූ අතර සමසතයක් ලෙස කාර්මික අංශයද සෘණ ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇත. කෙසේ වුවද, මෙම අර්බුධකාරී තත්ත්ව යටදේ දී වුව ද සේවා අංශය 2021 පළමු කාර්තුවට සාපෙක්ෂව මෙම කාර්තුව තුළ ඉතා සුළු ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත.

ස්ථාවර මිල (2015) අනුව ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 2021 වර්ෂයේ පළමුවැනි කාර්තුවේදී රුපියල් මිලියන 3,519,921 ලෙස වාර්තා වී පැවති අතර එය පෙර වර්ෂයේ එම කාර්තුවට සාපේක්ෂව සියයට 4.0 ක වර්ධනයකි. එහෙත් 2022 වර්ෂයේ පළමුවැනි කාර්තුවේදී මෙම අගය රුපියල් මිලියන 3,463,101 ක් දක්වා සියයට 1.6 කින් පසුබැස ඇත.

2022 වර්ෂයේ පළමුවැනි කාර්තුවේදී පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 5,368,465 ලෙස වාර්තා වී ඇති අතර එය 2021 වර්ෂයේ මෙම කාර්තුව තුළ වාර්තා වූ රු. මිලියන 4,573,080ක අගය හා සලකන විට සියයට 17.4ක වැඩිවීමක් පෙන්නුම් කරයි. එම වටිනාකම තුළ කෘෂිකාර්මික ආර්ථික කටයුතු, කර්මාන්ත ආර්ථික කටයුතු, සේවා ආර්ථික කටයුතු සහ භාණ්ඩ මත අය කරන ශුද්ධ බදු ලබාදී ඇති දායකත්වයන් පිළිවෙලින් සියයට 8.1 ක් , සියයට 31.1 ක්, සියයට 55.6ක්, සහ සියයට 5.2ක් වේ.

තවද, 2021 වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව 2022 වර්ෂයේ පළමු කාර්තුව තුළ කෘෂිකාර්මික හා කාර්මික අංශවල වර්ධන  වේගයන් පිළිවෙලින් සියයට 6.8ක් හා සියයට 4.7ක් ලෙසින් සංකෝචනය වී ඇති නමුත් සේවා අංශය සියයට 0.7ක සුළු වර්ධන වේගයක් ළඟා කරගෙන ඇත.

කෘෂිකාර්මික ආර්ථික කටයුතු

2021 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී සියයට 6.4ක ධන වර්ධන වේගයක් වාර්තා කොට තිබූ කෘෂිකාර්මික ආර්ථික කටයුතු 2022 වර්ෂයේ පළමුවැනි කාර්තුවේදී සියයට 6.8ක පසුබැසීමක් වාර්තා කර ඇත. ඒ සඳහා මුලික වශයෙන්ම කෘෂි බෝග වගාකිරීම් සඳහා අවශ්‍ය රසායනික පොහොර සපයාගැනීමේ ගැටළු බලපා ඇති බව පෙනේ.

ඒ හේතුවෙන් බොහෝ උප කෘෂිකර්මාන්ත කටයුතුවල පසුබැසීමක් වාර්තා කොට තිබුණි. ඒ අනුව ‘වී වගා කිරීම’ (සියයට 33.8), ‘තේ වගා කිරීම’ (සියයට 15.0), ‘රබර් වගා කිරීම’ (සියයට 13.1), ‘ධාන්‍ය වගාකිරීම’ (සියයට 9.4) , ‘එළවළු වගා කිරීම’ (සියයට 8.4) , සහ ‘පළතුරු වගා කිරීම’ (සියයට 3.8) , ආදී ලෙස කෘෂි ආර්ථික කටයුතු ප්‍රධාන ලෙස සංකෝචනයන් වාර්තා කොට ඇත.

කෙසේ වෙතත් ‘පොල් වගා කිරීම’ සහ ‘පැළ වගා කිරීම’ යන කෘෂිකර්මාන්ත කටයුතුවල පිළිවෙලින් සියයට 16.7ක සහ සියයට 30.3ක වර්ධනයන් වාර්තා කොට ඇත. ‘කරදිය ධිවර කර්මාන්ත සහ කරදිය ජලජිව වගාව’ සහ ‘මිරිදිය ධීවර කර්මාන්තය සහ මිරිදි ජලජිව වගාව’ යන ධීවර නිෂ්පාදන කටයුතු පිළිවෙලින් සියයට 0.5 සහ සියයට 9.3 ලෙස ඇතිවූ පහළ යාමද සමස්ත කෘෂිකර්මාන්ත අංශය සියයට 6.8 ක සැලකියයුතු මට්ටමකින් පසුබැසීමට හේතුවී ඇත.

කර්මාන්ත ආර්ථික කටයුතු

2022 වර්ෂයේ පළමුවන කාර්තුව තුළ සමස්ත කර්මාන්ත ආර්ථික කටයුතු සියයට 4.7 කින් සැලකිය යුතු මට්ටමේ පසුබැසීමක් වාර්තා කර ඇත. ඒ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ නිෂ්පාදන කර්මාන්ත සහ ඉදිකිරීම් කර්මාන්තයේ ඇතිවූ සංකෝචනයන්වේ.

2021 වර්ෂයේ පළමුවන කාර්තුවට සාපේක්ෂව 2022 වර්ෂයේ පළමුවන කාර්තුවේ සමස්ත නිෂ්පාදන කර්මාන්ත සියයට 6.9කින් පසුබැසීමට ලක් වී ඇත. නිෂ්පාදන කර්මාන්ත යටතට ගැනෙන සියලූ‍ම උප නිෂ්පාදන කටයුතු මෙම කාර්තුවේදී පසුබැසීම් වාර්තා කොට තිබීම කැපී පෙනෙන ලක්ෂණයකි. ඒ අතර ‘අගුරු සහ ඛනිජතෙල් පිරිපහදු කිරීමේ නිෂ්පාදනය (සියයට 24.3) , ‘රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන’ (සියයට 16.0), ‘ගෘහ භාණ්ඩ නිෂ්පාදනය (සියයට 13.0) හා ‘මුලික ලෝහ නිෂ්පාදනය (සියයට 10.4) ප්‍රධාන වේ.

මීට අමතරව ‘ආහාර, පාන වර්ග සහ දුම්කොළ නිෂ්පාදනය’ (සියයට 9.1), ‘කඩදාසි නිෂ්පාදනය’ (සියයට 8.8), රබර් සහ ප්ලාස්ටික් නිෂ්පාදනය’ (සියයට 7.0), ‘වෙනත් නිමවුම් කර්මාන්ත’ (සියයට 6.5) සහ ‘රෙදිපිළි, නිමි ඇඳුම්, සම්භාණ්ඩ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන’ (සියයට 0.9) යන නිෂ්පාදන ආර්ථික කටයුතු පසුබැසීම් වාර්තා කර ඇත.

කර්මාන්ත අංශයේ ආර්ථික කටයුතු අතර, සමස්ත කර්මාන්ත අංශය සඳහා සියයට 9.3 ක පමණ දායකත්වයක් සපයන ‘ඉදිකිරීම් කර්මාන්තය සියයට 2.2කින් පසුබැසීමට ලක්වී ඇත. ඉදිකිරීම් කර්මාන්තයේ සිදු වු මෙම පසුබැසීම අනුව යමින් ‘පතල් හා කැනීම්’ කර්මාන්තය ද මෙම කාර්තුව තුළ සියයට 1.5 ක පසුබැසීමක් වාර්තා කොට ඇත. එසේම ‘විදුලිය, ගෑස්, වාෂ්ප හා වායු සැකසුම් සැපයුම’ යන ආර්ථික කටයුත්ත සියයට 3.7ක ධන වර්ධනයක් වාර්තා කර ඇති අතර ‘ජල එකතු කිරීම, පිරිපහදු කිරීම හා සැපයීම’ යන ආර්ථික කටයුත්ත සියයට 0.4ක සෘණ වර්ධනයක් පෙන්නුම් කරයි.

සේවා ආර්ථික කටයුතු

2022 වර්ෂයේ පළමුවැනි කාර්තුවේදී සේවා අංශය සියයට 0.7ක සුළු වර්ධනයක් වාර්තා කර ඇත. සේවා අංශය තුළ ධන වර්ධනයන් වාර්තා කරන ලද උප ආර්ථික කටයුතු වන්නේ ‘නවාතැන් සහ ආහාරපාන සැපයීම’ (සියයට 25.2) , ‘තොරතුරු තාක්ෂණ සේවා’ (සියයට 12.3) , ‘විදුලි සංදේශ සේවා’ (සියයට 7.9) ‘රාජ්‍ය පරිපාලන , ජාතික ආරක්ෂාව ඇතුළු සමාජ ආරක්ණය’ (සියයට 3.4) ‘නිවාස අයිතිය සහ දේපළ වෙළඳාම්’ (සියයට 3.9), ‘තැපැල් සහ කුරියර් සේවා’ (සියයට 3.3), තොග සහ ‘සිල්ලර වෙළදාම’ (සියයට 1.0) සහ ‘අධ්‍යාපනය’ (සියයට 0.6) යන ආර්ථික කටයුතුවේ.

සේවා අංශය තුළ සැළකිය යුතු පසුබැසීමක් වාර්තා කළ උප ආර්ථික කටයුතු වන්නේ ‘ගුවන්විදුලි සහ රූපවාහිනී විකාශනය සහ එම නිෂ්පාදන කටයුතු’ (සියයට 8.7), ‘වෘත්තිමය සේවා’ (සියයට 5.5) , ‘රක්ෂණ සේවා සැපයීම’ (සියයට 4.4) , “අනෙකුත් පෞද්ගලික සේවා සැපයීම” (4.0) සහ ‘මගින් හා භාණ්ඩ ප්‍රවාහන සේවාවන් සහ ගබඩා පහසුකම් සැපයීම’ (සි ට 1.0) ආදියයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: