hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 21, ප.ව. 2:36



විදෙස්ගත ශ්‍රමිකයන් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවීමේදී ලබා දෙන විශේෂ වාහන ආනයන බලපත්‍රයේ පළමු බලපත ඊයේ (20) කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ලබා දී තිබෙනවා.

පළමු ආනයන බලපත්‍රය වාහනය ගෙන්වා ගත් විදේශ ගත ශ්‍රමිකයාගේ බලය ලත් මෙරට නියෝජිතයා වෙත එය නිකුත් කර තිබෙනවා.

මේ වන විට විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර සදහා විශේෂ ඉල්ලුමක් නිර්මාණය වී ඇති බවත්, විදෙස්ගත ශ්‍රමිකයන් බොහෝ දෙනකු අඛණ්ඩ ව විමසීම් කරන බවත් අමාත්‍යවරයා එහි දී පවසා සිටියා.

විදෙස් රටක ජීවත්වන, රැකියාව කරන හෝ ද්විත්ව පුරවැසිභාවය දරන ඕනෑ ම ශ්‍රී ලාංකිකයකු මූලික සුදුසුකම සපුරන අතර, මැයි මාසයේ 01 වැනිදා සිට දෙසැම්බර් 31 දා දක්වා කාලය තුළ ප්‍රේෂණය කරන ඩොලර් විසි දහසක හෝ ඊට වැඩි වටිනාකමක් සහිත මුදල විද්‍යුත් මෝටර් රථ සදහාත්, මැයි මස 01 වැනිදා සිට 2023 වර්ෂයේ මැයි මාසය දක්වා ප්‍රේෂණය කරන ඩොලර් තුන්දහසක් හෝ ඊට වැඩි මුදල විද්‍යුත් යතුරුපැදි ගෙන්වීම සදහාත් වලංගු වනවා.

මෙරටට යොමු කරන ලද ප්‍රේෂණ නීත්‍යනුකූල බැංකු පද්ධතිය හෝ නියෝජිතයකු වෙත යොමු කර තිබීමත්, මුදලින් 50%ක් රුපියල් බවට පරිවර්තනය වී තිබීමත් අනිවාර්යය බවත් පැවැසූ ඇමැතිවරයා මෙසේ යොමු කරන හෝ යොමු කළ මුදලින් හරි අඩක මුදලකට යතුරු පැදිය හෝ මෝටර් රථය ගෙන්වා ගත හැකි බවද කියා සිටියා.

මෙහි දී වැඩිදුටත් අදහස් දැක්වූ අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙසේද පැවසුවා.

“මේ වෙද්දී ලංකාවට වාහන ගෙන්වීම තහනම්. හැබැයි රටට ඩොලර් එවන විදෙස්ගත ශ්‍රමිකයන්ට විතරක් විද්‍යුත් වාහනයක් ගෙන්වා ගන්න පහසුකම තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මේ ප්‍රතිලාභය භුක්ති විදින්න. අපි අමාත්‍යංශය විදියට ඒ සදහා පූර්ණ සහයෝගය දෙනවා. ඒ වගේ ම දැනට සුඛෝපභෝගී වාහන ආනයනය කිරීමේදී අය කරන බදු මුදලත් ඉදිරියේ දී සංශෝධනය කරනවා.

හැබැයි අවසරය තියෙන්නේ විද්‍යුත් වාහන ගෙන්වන්න විතරයි. මේවා වාහන පාවිච්චි නොකළ වාහන වෙන්න ඕනෑ. එක්කෝ බ්‍රෑන්ඩ් නිව් නැත්නම් ධාවන දුර කිලෝමීටර ‘0‘ වෙන්න ඕනෑ. ඒ වගේ ම පළමු ලියාපදිංචියෙන් වසරක් තුළ ආනයනය කිරීමත් අනිවාර්යයි.

අමාත්‍යංශය විදියට අපි බලාපොරොත්තු වෙනවා මේ ගෙන්වන වාහනයේ බැටරි ඇසුරුම සහ විදුලි මෝටරය සදහා අවම වශයෙන් වසර තුනක වත් නිෂ්පාදකයාගේ, ආනයනකරුවාගේ සහ අපනයනකරුවාගේ වගකීමක් තිබිය යුතු බවට. ජාත්‍යන්තර විදුලි වාහන මාර්ග ආරක්ෂණ ප්‍රමිතීන් සහ අනුමත සම්මත ක්‍රියාපටිපාටින්ට අනුකූල ව බැටරිය බැහැර කෙරෙන බවටත් සහතික වෙන්න ඕනෑ. මෙරටට එවූ ප්‍රේෂණ රුපියල්වලට පරිවර්තනය කරලා මේ සදහා වන බදු මුදල් ගෙවිය හැකියි.‍මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අනුකූලතාවන්ටත් යටත් වියයුතුයි. මෝටර් රථයක් නම් එක් වරක් චාර්ජ් කළ පසු අඩු ම කිලෝමීටර් දෙසීයක දුරක් ධාවනය කළ හැකි විය යුතුයි. ඒ වගේ ම මෙරටට ප්‍රේෂණය කළ සියලු මුදල් පිළිබද වාර්තාවක් ද අදාළ බැංකුව හරහා ඉදිරිපත් කළ යුතු යි“.යැයි ඔහු පෙන්වා දුන්නා.

කම්කරු අමාත්‍යංශයේ හෝ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවිය මගින් අයදුම්පත හා තොරතුරු බාගත කර ගත හැකි බවත්, විදෙස් රටක සේවය කරන බව මෙරටට මුදල් එවූ බව සහ වාහනය ගෙන්වීමට අදාළ ලියකියවිලි සමග ඉදිරිපත් කිරීමෙන් බලපත්‍රය ගෙන්වා ගැනීමට අදාළ කටයුතු ඉටුකර ගත හැකි බවත් ඔහු සඳහන් කළා.

මෙලෙස ගෙන්වන වාහනය ලියාපදිංචියෙන් වසර දෙකක් ගතවන තුරු තුන්වැනි පාර්ශ්වයකට පැවැරිය නොහැකි අතර සීඅයිඑෆ් වටිනාකමෙන් සියයට දහයක වටිනාකමට සරිලන ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයක් අතිරේක ව ගෙවීමෙන් අවශ්‍ය නම් වසර දෙකකට පෙර වාහනය පැවරීමට පහසුකම් සපයා ඇති බව ද ඇමැතිවරයා වැඩි දුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: