hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ජූලි 20, පෙ.ව. 4:08



මෙම වසර තුළ මෙරටට සහල්, මුං ඇට, උඳු, කුරක්කන්, කව්පි සහ රටකජු ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

2022 යල කන්නයේ සිට නැවතත් රසායනික පොහොර ගොවි ජනතාවට ලබා දීමට ගත් පියවරත් සමග සහල් ඇතුළු අනෙකුත් ආහාර බෝගවලින් මේ වනවිට රට ස්වයංපෝෂිත මට්ටමට ළඟා වී ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් වන අතර පසුගිය මහ කන්නය මෙම යල කන්නයේ අස්වැන්න සමග සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 27ක් නිපදවා ගැනීමට හැකිව ඇති බව සඳහන්.

වාර්ෂික මුං ඇට අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 20,000ක් වන අතර මෙම වසර තුළ මුං ඇට මෙට්‍රික් ටොන් 13,439ක අස්වැන්නක් ලැබී තිබෙනවා.

එමෙන්ම කව්පි වාර්ෂික අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 15,000ක් වන අතර මෙම වසර තුළ මෙරට කව්පි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 13,740ක් වෙනවා.

මෙරට වාර්ෂික උඳු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 20,000ක් වුවද මේ වසර තුළ උඳු අස්වැන්න මෙට්‍රික් ටොන් 17,866ක් ලැබී ඇති බව සඳහන්.

වාර්ෂික රටකජු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 35,000ක් වන අතර මෙම වසර තුළ මේ වනවිට රටකජු අස්වැන්න මෙට්‍රික් ටොන් 36,498ක් ලැබී තිබෙනවා.

මෙරට වාර්ෂික කුරක්කන් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 10,000ක් වන අතර මෙම වසර තුළ එහි අස්වැන්න මෙට්‍රික් ටොන් 6408ක් බව සඳහන්.

ඒ අනුව රට මේ වන විට සහල්, මුං ඇට, කව්පි, කුරක්කන්, උඳු හා රටකජුවලින් ස්වයංපෝෂිත තත්ත්වයට පත්ව ඇති බැවින් නැවත එම ද්‍රව්‍ය මෙම වසර තුළ ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනඟින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: