hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 02, පෙ.ව. 12:02



ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් මගින් පවත්වන ලද EASA PART 66 ගුවන් යානා නඩත්තුව පිළිබඳ මූලික පාඨමාලාව අවසන් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තරගකාරී බඳවාගැනීමේ ක්‍රියාවලියකින් අනතුරුව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ රැකියා අවස්ථා හිමි වී තිබෙනවා.

ඒ අනුව දැන් ඔවුන්ට තම දැනුම හා පළපුරුද්ද වර්ධනය කරගනිමින් අනාගතයේදී ගුවන් යානා ඉංජිනේරුවන් බවට පත්වීමට අගනා අවස්ථාවක් උදා වී ඇත. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පුහුණු පාසල වන ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් විසින් මෙම පාඨමාලාව නැවත ආරම්භ කරන ලද්දේ වසර 4 කින් අනතුරුවයි.

ඉදිරි දශක දෙකක කාලය තුළ ලොව ගුවන් සේවා කර්මාන්තයට තාක්ෂණවේදීන් 600,000 ක් පමණ අලුතින් බඳවා ගැනීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, මෙම පාඨමාලාව ශ්‍රී ලාංකික සිසුන්ට එම රැකියා අවස්ථා තමන් සතු කරගැනීම සඳහා ලැබෙන අගනා අවස්ථාවක් වනු ඇති.

EASA PART 66 ගුවන් යානා නඩත්තුව පිළිබඳ මූලික පාඨමාලාවට European Union Aviation Safety Agency (EASA) හි මෙන්ම ශ්‍රී ලංකාවේ, මාලදිවයිනේ සහ පාකිස්ථානයේ සිවිල් ගුවන් සේවා අධිකාරී ආයතනවල සහතිකකරණය හිමි වී තිබෙනවා.

Mechanical (B1.1) සහ Avionics (B2) යන විෂය ධාරාවන් දෙකෙන්ම සිසුන්ට මෙම පාඨමාලාව හැදෑරීමට අවස්ථාව ලබා දී ඇති.

Mechanical විෂය ධාරාවේදී ප්‍රධාන වශයෙන් ගුවන් යානයක ව්‍යුහය සහ ව්‍යුහාත්මක පද්ධති වැනි කාර්මික අංශ කෙරෙහි අවධානය යොමුකෙරෙන අතර, Avionics විෂය ධාරාව තුළදී ගුවන් යානයක විදුලි පද්ධතිය, සංඥා පුවරු, පටිගත කිරීම් පද්ධති, ස්වයංක්‍රීය නියමු පද්ධතිය, දිශාව සොයා ගැනීමේ හා සන්නිවේදනය කිරීමේ පද්ධති සහ ඉලෙක්ට්‍රොනික පද්ධති ආදිය කෙරෙහි අවධානය යොමු කෙරෙනවා.

මෙම පාඨමාලාවට ඉගෙනුම් පැය 2,400 ක් ඇතුළත් වන අතර, ඊට න්‍යාය ඉගෙනුම් සැසි 1,200 ක් සහ ප්‍රයෝගික පුහුණු සැසි 1,200 ක් ඇතුළත් වෙනවා.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ Airbus A330 සහ A320 යානා මේ සඳහා යොදාගැනෙන බැවින් සිසුන්ට සත්‍ය ගුවන් යානා නඩත්තු පසුබිමක් තුළ සිටම දැනුම හා පුහුණුව ලැබීමට අවස්ථාව ලැබෙනවා.

මෙම පාඨමාලාව සාර්ථක ලෙස සම්පූර්ණ කිරීම යනු ගුවන් යානා නඩත්තු සහ ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියා ලබාගැනීම සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සපුරාලීමක්.

ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් යනු මෙම කලාපයේ EASA අනුමැතිය හිමි වී ඇති පුහුණු ආයතන කිහිපය අතරින් එකකි. ඉදිරියේදී ලොව ගුවන් යානා නඩත්තු කර්මාන්තයෙහි ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරෙන නව රැකියා අවස්ථාවන් සඳහා සුදුසුකම් ලැබීමට සිසුන්ට අවස්ථාව සලසා දෙන අතරම, ලොව ගුවන් සේවා කර්මාන්තය තුළ පුහුණුව ලත් ගුවන් යානා නඩත්තු කාර්මික ශිල්පීන් සඳහා ඇති ඉල්ලුම සපුරාලීමට දායක වීමේ අරමුණින් ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් විසින් මෙම පාඨමාලාව නැවත හඳුන්වා දෙන ලදි.

ශ්‍රී ලාංකික සිසුන්ට අමතරව විදේශීය සිසුන්ද කටුනායක පිහිටි ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් පුහුණු පාසලේ පාඨමාලා හැදෑරීමට පැමිණෙන අතර, මේ වනවිට මාලදිවයින, පාකිස්ථානය, ඉන්දියාව, ඕමානය, නේපාලය, බංගලාදේශය සහ ටැන්සානියාව යන රටවල සිසුන් 100 ක් පමණ මෙම පාඨමාලාව හදාරයි.

ගුවන් සේවා කර්මාන්තයේ පුහුණු කටයුතු සම්බන්ධයෙන් වසර 34 කට වැඩි පළපුරුද්දක් හිමි ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් ආයතනය ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම රැකියාවන්හි නියුතු වෘත්තිකයන් වෙනුවෙන්ද විවිධාකාර වූ පුහුණු පාඨමාලාවන් හඳුන්වා දී ඇත.

Kingston University London, Embry-Riddle Aeronautical University සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලය වැනි විශ්ව විද්‍යාල සමග මෙන්ම, Airbus සහ Boeing Group වැනි නිෂ්පාදන සමාගම් සමගද එය සමීප සම්බන්ධතා පවත්වාගෙන යයි.

එමෙන්ම ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් ආයතනය Royal Aeronautical Society සහ European Aviation Maintenance Training Committee (EAMTC) යන සංවිධානවල සාමාජිකත්වයද දරයි.

EASA PART 66 ගුවන් යානා නඩත්තුව පිළිබඳ මූලික පාඨමාලාව පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: www.srilankanaviationcollege.com





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: