hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 7:55



ආර්ථික සහ ඉන්ධන අර්බුදයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය වන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සෞදි අරාබියේ නව තානාපතිවරයාගෙන් ඉල්ලා සිටි බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

පසුගියදා සිය අක්තපත්‍ර ඉදිරිපත් කළ තානාපති Khalid bin Hamoud Nasser Aldasam Alkahtani මහතා පැවසුවේ පුහුණු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා තම රටේ රැකියා අවස්ථා වැඩි කිරීම තම ප්‍රධාන කාර්යය බව යි.

පසුගියදා අග්‍රාමාත්‍යවරයා හමුවූ තානාපතිවරයා කෙටි කාලයක් තුළ සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකික පුහුණු හා අර්ධ පුහුණු ශ්‍රම බලකාය 180,000 සිට 400,000 දක්වා වැඩි කළ හැකි බව සඳහන් කර තිබෙනවා.

“මම ශ්‍රී ලංකාවට ආදරය කරන අතර ඔබගේ රටට සහය දීමට මම උපරිමයෙන් කටයුතු කරමි” යනුවෙන් ඔහු සහතික වී තිබෙන බවයි අගමැති කාර්යාලය සඳහන් කළේ.

ආයෝජන මණ්ඩලයේ අලුතින් හඳුන්වා දී ඇති ලිහිල් වීසා රෙගුලාසි සහ ආයෝජන පහසු කිරීමේ යෝජනා ක්‍රම මඟින් සෞදි ආයෝජකයින් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ඉවහල් වන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

බලශක්ති, ධීවර සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට සෞදි අරාබියට අවස්ථාවන් ඇති බව අග්‍රාමාත්‍යවරයා පැවසුවා.

සංචාරක ප්‍රවර්ධනය සහ සෞදි ගුවන් සේවයේ ශ්‍රී ලංකාවට ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමේ සැලසුම් පිළිබඳව ද ඔවුන්  සාකච්ඡා කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: