hit counter

2025 පෙබරවාරි මස 12 වන බදාදා

2025 පෙබරවාරි 11, ප.ව. 1:25



මෙරට ජනප්‍රියතම කුළුබඩු සන්නාමයක් වන Mc Currie නිෂ්පාදනය සහ බෙදාහැරීම සිදු කරන මෙරට කීර්තිමත් ව්‍යාපාරයක් Lanka Spice පෞද්ගලික සමාගම විසින් ප්‍රජාවන් සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් ආරම්භ කළ ‘සෙනෙහසේ දෑත්’ සමාජ සත්කාරක ව්‍යාපෘතියේ තුන්වන අදියර සාර්ථකව අවසන් කෙරිණ. එහිදී පන්නිපිටිය, බප/ජය/ විද්‍යාදාන මහා විද්‍යාලයේ පුස්තකාලයට අවශ්‍ය පොත්පත් සහ පුස්තකාල මේස ප්‍රදානය කරන ලදි.

සීමිත සම්පත් සහිත පාසල්වලට සහයෝගය ලබා දීමේ අරමුණෙන් ආරම්භ කරන ලද ‘සෙනෙහසේ දෑත්‘ සමාජ සත්කාරක ව්‍යාපෘතියේ ඉලක්කය වන්නේ සියල්ලන්ටම අධ්‍යාපනය සඳහා සමාන ප්‍රවේශ අවස්ථා ලබා දීම වෙනුවෙන් උපරිමයෙන් දායක වීමයි. අවශ්‍යතා සහිත පාසලක් හඳුනාගැනීම සඳහා අනුගමනය කරනු ලබන නිර්ණායකයන්ට අනුව පන්නිපිටිය, බප/ජය/ විද්‍යාදාන මහා විද්‍යාලයට මෙවර ‘සෙනෙහසේ දෑත්’ සමාජ සත්කාරක ව්‍යාපෘතියේ ප්‍රතිලාභ හිමි විය.

“කියවීම කියලා කියන්නේ දැනුම වර්ධනය කර ගැනීම විතරක් නෙවෙයි. ජීවිතය විනෝදයෙන් සහ තෘප්තියෙන් පුරවා ගන්නා අතරම ඵලදායී ආකාරයෙන් සමාජ සංවර්ධනයට සහයෝගය ලබා දීමට අවශ්‍ය මඟපෙන්වීම ලබා දෙන හොඳ පුරුද්දක්. වගකීම් සහගත ආයතනයක් විදියට Lanka Spice පෞද්ගලික සමාගමේ අපි අනාගත පරම්පරාවට අධ්‍යාපනයේ ඇති වැදගත්කම හොඳින් තේරුම් අරන් තිබෙනවා.” යනුවෙන් Lanka Spice පෞද්ගලික සමාගමේ වැඩ බලන ප්‍රධාන අලෙවි නිලධාරී වරුණ කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.

“Lanka Spice පෞද්ගලික සමාගම විසින් මේ ලබා දුන් සහයෝගය අපේ පාසලට නිසැක වශයෙන්ම විශාල ශක්තියක් වෙනවා. ඒ වගේම මේ උපකාරය අත්‍යවශ්‍ය අධ්‍යාපනික සම්පත් හිඟ පරිසරයක ඉගෙනුම ලබන අපේ දරුවන්ට සිය අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නංවා ගැනීමටත් වඩාත් සමෘද්ධිමත් ඉගෙනුම් පරිසරයක අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාමටත් මනා පිටිවහලක් වෙනවා.” යනුවෙන් ප්‍රකාශ කළ විද්‍යාදාන මහා විද්‍යාලයේ විදුහල්පති කේ. එම්. එස්. චන්දන මහතා Lanka Spice පෞද්ගලික සමාගමට සිය කෘතඥතාවය පළ කළේය.

Lanka Spice පෞද්ගලික සමාගමේ දීර්ඝකාලීන දැක්ම පිළිබඳව අවධාරණය කරමින් එහි වැඩ බලන ප්‍රධාන අලෙවි නිලධාරී වරුණ කරුණාරත්න මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ “ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් අපි අඛණ්ඩ කැපවීමකින් යුතුව කටයුතු කරනවා. ‘සෙනෙහසේ දෑත්’ සමාජ සත්කාරක ව්‍යාපෘතිය හරහා සමාජ සුබසාදනය සහ ප්‍රජාවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් අප දරනු ලබන සියලුම ප්‍රයත්නයන් තව දුරටත් පුළුල් කරන්නට අපි අරමුණු කරගෙන ඉන්නවා. කියවීමට සහ ඉගෙනීමට දරුවන් තුළ වන ආශාව තව දුරටත් වර්ධනය කරමින් දැනුමෙන් සහ වගකීමෙන් සන්නද්ධ සමාජයක් ගොඩනැංවීමට ඉදිරියේදී අඛණ්ඩව දායකත්වය ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

තිරසාර අධ්‍යාපනික පරිසරයක් ගොඩනැංවීම පිළිබඳව අනාගත දැක්මකින් යුතුව ක්‍රියාත්මක වන ‘සෙනෙහසේ දෑත්’ සමාජ සත්කාරක ව්‍යාපෘතිය තවත් වැඩසටහන් මාලාවක් ඔස්සේ පුළුල් කිරීමට Lanka Spice පෞද්ගලික සමාගම සූදානමින් සිටියි. විවිධ කර්මාන්ත ආශ්‍රිත දැනුම ලබා දීම සහ සිසුන්ට අවශ්‍ය ජීවන කුසලතා සහ වෘත්තීය කුසලතා වර්ධනය කර ගැනීම සඳහා පාසල් සමඟ හවුල්කාරීත්වයන් ගොඩනංවා ගනිමින් උපදේශක වැඩසටහන් හඳුන්වා දීමට ද ආයතනය සැලසුම් කර ඇත.

1984දී ආරම්භ කරන ලද Lanka Spice පෞද්ගලික සමාගම විසින් Mc Currie සන්නාමය හඳුන්වා දුන් අතර එතැන් පටන් එය ලංකාවේ උසස්ම තත්ත්වයෙන් යුතු අනර්ඝතම කුළුබඩු නිෂ්පාදන සිදු කරන ආයතනයක් ලෙස වේගයෙන් ව්‍යාප්ත විය. ක්‍රියාත්මක වෙමින් පවතින ‘සෙනෙහසේ දෑත්’ සමාජ සත්කාරක ව්‍යාපෘතිය හරහා මෙරට අධ්‍යාපන ක්‍ෂේත්‍රය වෙනුවෙන් සහ තරුණ පරම්පරාවේ අනාගතය වෙනුවෙන් දීර්ඝකාලීන ධනාත්මක බලපෑමක් සිදු කිරීමට ආයතනය කැපවීමෙන් කටයුතු කරයි.