hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 11, පෙ.ව. 8:49



මත්පැන් බෝතල්වල අලවා ඇති ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් හඳුනා ගැනීමට හැකිවන පරිදි පවතින ජංගම යෙදවුම වැඩිදියුණු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අදාළ සමාගම් වෙත උපදෙස් ලබාදී තිබෙන බව වාර්තා වනවා.

වෙළෙඳපොළ තුළ පවතින මත්පැන් බෝතල්වල අලවා ඇති ස්ටිකර් නිසි පරිදි හඳුනාගැනීමේ ක්‍රමවේදයක් නොමැති බවට නිරීක්ෂණයවීම හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ආරක්ෂක ස්ටිකර් නිෂ්පාදන සමාගමක නියෝජිතයෙකු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව වෙත කැඳවා තිබුණා.

මත්පැන් බෝතල්වල ආරක්‍ෂිත ස්ටිකර් ඇලවීම අනිවාර්ය කළද එම උපදෙස් දිවයිනේ සියලුම මත්පැන් නිෂ්පාදකයින් අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් මෙහිදී කමිටු සාමාජිකයන් අප්‍රසාදය පළකර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහිදී පෙන්වාදී තිබුණේ, එම ස්ටිකර් භාවිත නොකරන සමාගම් හතරක් මේ වන විට හඳුනාගෙන ඇති බවයි.

මෙම ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් හඳුනාගැනීම සඳහා විශේෂ උපකරණ 200ක් පසුගිය මාර්තු මාසයේදී සුරාබදු දෙපාර්තමේන්තුවට ලබාදී ඇතත් මේ දක්වා එම උපකරණ භාවිත කර නොමැති බවට කාරක සභාවේදී අනාවරණය වී ඇත.‍

එම උපකරණ ප්‍රායෝගිකව භාවිත කළ හැකි මට්ටමට තාක්ෂණික වශයෙන් වැඩිදියුණු කිරීම මේ මස 30 වනදා වනවිට සම්පුර්ණ කරන ලෙසට ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අදාළ සමාගම වෙත වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: