hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මැයි 28, ප.ව. 3:36



පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම සඳහා රජය ලබාදෙන පොලී රහිත ණය වැඩසටහන ලබන සතියේ සිට නැවත ආරම්භ වන බව දැනුම්දී තිබෙනවා.

එමඟින් දරුවන් 5,000 කට රුපියල් ලක්ෂ 9 ක පොලී රහිත ණය මුදල් ප්‍රදානය කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

ඊට අදාළ යෝජනාව මේ සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව, මුදල් රාජ්‍ය අමාත්‍ය අචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, රටක හොඳම ආයෝජනය අධ්‍යාපනය නිසා රජය අසීරු අවස්ථාවල පවා අධ්‍යාපනයට ප්‍රමුඛත්වය ලබා දෙන බවයි.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ “සිසු සැරිය” බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා යොදවනු ලබන සිසු සැරිය බස් රථ සේවාව පාසල් නිවාඩුව ලබාදීමත් සමග නතර කිරීම සිදුවෙයි.

කෙසේවෙතත් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අඛණ්ඩව එම බස් සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළා.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (29) ආරම්භ වීමට නියමිත අතර එය ලබන මස 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

 මේ අතර අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන පාසල්වල විශේෂ ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් අද (28) දිනයේ ක්‍රියාත්මක කරන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා සඳහන් කළා.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වුව ද උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු අඛණ්ඩව සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු ජුනි මාසය තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අමිත් ජයසුන්දර මහතා සඳහන් කළා.