hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මාර්තු 18, පෙ.ව. 6:14



උසස් පෙළ සමත්ව රජයේ විශ්වවිද්‍යාල වෙත ඇතුළත් විය නොහැකි සිසුන් වෙත උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා රුපියල් ලක්ෂ 8 මුදලක් ලබා දීම නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා එලෙස පැවසුවා.

ඊට අමතරව ඔවුන්ගේ එදිනෙදා වියදම් සදහා රුපියල් ලක්ෂ 3ක මුදලක් ලබා දීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

අදාළ ණය මුදල පොළී රහිතව ලබා දීමට රජය සූදානමින් සිටින බව ද මෙරට ණය පොළී අනුපාත මේ වන විට 25%ටත් වඩා ඉහළ අගයකට පත්ව ඇති බැවින් අදාළ පහසුකම සිසුන්ට ලබා දීමට රජය තීරණය කළ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි සිසුන් 5,000කට එම පහසුකම ලබා දීමට නියමිත බව අමාත්‍යවරයා පැවසුවා.

දැනට ලංකා බැංකුව මගින් පමණක් ලබා දෙන අදාළ ණය පහසුකම ඉදිරියේදී මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගින් ද ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

කෙසේ වෙතත්, එම ණය මුදල ලබා දීමේදී Z අගය සහ හැදෑරීමට අපේක්ෂා කරන පාඨමාලාවේ ඇති කාලීන වටිනාකම සැලකිල්ලට ගන්නා බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

අදාළ ණය මුදල ආපසු ගෙවීම සිදුකළ යුත්තේ, අධ්‍යාපන කටයුතු අවසන් කර වසරක් ගත වී රැකියාවක් ලැබීමෙන් පසුව වීම විශේෂත්වයක්.