hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 26, ප.ව. 12:23



රාජ්‍ය බැංකුවල ඇති හිතවතුන්ගේ ණය කපා හැර ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා එලෙස පවසා සිටිනවා.

එවැනි ණය කපා හැරීමක් පිළිබඳ සිතිවිල්ලක් හෝ රජයට නොමැති බවත් සමස්ත ජනතාව ණය බරින් සිටින මොහොතක මෙවැනි අසත්‍ය ප්‍රචාර මෙරට සියලු ජනතාව පීඩාවට පත්කරන බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.

රාජ්‍ය බැංකු මඟින් ලබාගෙන ඇති ඇතැම් ණය මුදල් දේශපාලන හිතවත්කම් මත කපා හැර ඇති බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා එලෙස කියා සිටියා.

1954, 1955, 1992, 2017 සහ 2018 යන වසරවලට පසු නිදහස් ශ්‍රී  ලංකාවේ හයවැනි වතාවට මෙම වසරේදී (2023) මෙම කාල සීමාව තුළ ප්‍රාථමික ගිණුම රුපියල් බිලියන 48 ධන අගයක් පෙන්නුම් කර ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා.

මෙම වසරේදී (2023) මුල් කාර්තුව තුළ රජයේ ආදායම රුපියල් බිලියන 635ක් වී ඇති අතර ණය නොදී වාරික සමඟ රජයේ වියදම 1260ක් වී තිබෙනවා.

එයින් ණය පොලී වාරික ඉවත් කළ විට රජයේ වියදම රුපියල් බිලියන 587ක් වීම මත 2023 වසරේ මුල් කාර්තුව තුළ ප්‍රාථමික ගිණුම එලෙස රුපියල් බිලියන 48ක ධන අගයක් වී තිබෙනවා.