hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 15, ප.ව. 12:02



නෙළුම් කු‍ළුණ අද (15) සිට ජනතාවට විවෘත කෙරුණා.

ඒ අනුව සතියේ සෑම දිනකම පස්වරු 2.00 සිට රාත්‍රි 10.00 දක්වා නෙළුම් කුලුන විවෘතව තැබෙන අතර සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල දහවල් 12.00 සිට රාත්‍රි 10.00 දක්වා නැරඹීමට අවස්ථාව සලසා තිබෙනවා.

පාසල් දරුවන් සඳහා පෙරවරු 9.00 සිට දහවල් 2.00 දක්වා කාලය තුළ නෙළුම් කුලුන නැරඹීමට කාලය වෙන් කර ඇති අතර ඒ අනුව පාසල් දරුවකුගෙන් රුපියල් 200ක මුදලක් පමණක් අය කිරීමට නියමිතයි.

2012 වසරේදී ආරම්භ කළ නෙළුම් කුලුනේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ පෙබරවාරි මස 28 වන දින එම කටයුතු අවසන් කෙරුණා.

අමෙරිකානු ඩොලර් මිලියන 113කට ආසන්න වියදමකින් ඉදි වූ නෙළුම් කුලුනේ මෙහෙයුම් කටයුතු අද සිට ආරම්භ කිරීමත් සමග ජනතාවට නවමු අත්දැකීම් රැසක් ලබාදීමට කොළඹ නෙළුම් කුලුන පුද්ගලික සමාගම කටයුතු යොදා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගමේ විධායක නිලධාරී මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා,

“අද නෙළුම් කුලුන පස්වරු 2ට මහජනතාව සඳහා විවෘත කරනවා. එහිදී මහජනතාව සඳහා රු 500 ප්‍රවේශ පත්‍රයක් හා අවුරුදු 10ට අඩු ළමුන් සඳහා රු 200ක ටිකට් පතකුත් දැනට නිකුත් කරනු ලබනවා. සති අන්තයේ දහවල් 12 සිට රාත්‍රී 10 දක්වාත් විවෘත කිරීමට නියමිතව තියෙනවා. විදේශිකයින් පෝලිමේ ඉන්න ඕනේ නෑ. ඒ අයට ඩොලර් 20ක ටිකට් පතක් අරන් ඕනේම වේලාවක එන්න පුළුවන්.”

මේ අතර පාසල් ළමුන් සඳහා නෙළුම් කුලුන නැරඹීමට ලබා දී ඇති අවස්ථාව සම්බන්ධයෙන් මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ‍මෙලෙස පැහැදිලි කළා.

“පාසල් ළමුන් සඳහා අපි අවස්ථාව ලබාදීලා තියෙනවා නෙළුම් කුලුන සංවිධායක මණ්ඩලය රු 200 ටිකට් එක. නමුත් පාසල්වලින් ඉල්ලීමක් කළ යුතුයි නෙළුම් කුලුන බැලීම සඳහා සංවිධානාත්මකව පැමිණිය යුතුයි. උදේ 9 සිට දහවල් 2 දක්වා. ඒ සඳහා අවසර ලබාදෙනවා. අපෙන් ඉල්ලීමක් කළ යුතුයි. ඒකට අපි වැඩසටහනක් හදලා වේලාව දීලා අවසරය ලබාදෙනවා. ඊළඟ සතියේ සිට එය ක්‍රියාත්මක කරනවා.”