hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 10, පෙ.ව. 8:31



රජය විසින් යෝජනා කර ඇති නවතම බදු සංශෝධනයන් හමුවේ රථ වාහන අලෙවි සහ අලෙවියෙන් පසු සේවා ක්ෂේත්‍රයේ දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත් වීම පිළිබඳව සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) දැඩි කනස්සල්ල පළ කරනවා.

රජය විසින් 2020 වසරේ මාර්තු මාසයේ දී සියලු ම වර්ගයේ වාහන ආනයනය කිරීම මාස 06ක් වැනි කාලයක් සඳහා පමණක් අත්හිටුවීම සිදුකරන බව පැවසුව ද වර්තමානය විට එම තීරණය ගෙන මාස 31ක් ගත වී ඇතත්, වාහන ආනයනයට තවමත් අවසර ලබා නොදුන් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

රජය මෙම ගැටලුවට කිසිඳු ආකාරයක සහනයක් ලබා දී නොමැති අතර පසුගිය මාස කිහිපය තුළ ණයවර ලිපි නිකුතුව ද සීමා කිරීම හේතුවෙන්, ප්‍රමිතිගත අමතර කොටස් ආනයනය අඩු වී ඇති අතර, එය මෝටර් රථ සමාගම් ලබා දෙන අලෙවියෙන් පසු සේවාව බිඳ වැටීමට සෘජුව ම බලපා තිබෙන බව එම සංගමය සඳහන් කරනවා.

වාහන ආනයනය කිරීම අත්හිටුවීම නිසා රථ වාහන අලෙවි ක්ෂේත්‍රය අඩාල වීම හේතුවෙන්, පසුගිය වසර දෙක තුළ පමණක් මෙම ක්ෂේත්‍රය තුළ 10,000 කට වැඩි පිරිසකට රැකියා අවස්ථා අහිමි වී තිබෙන බව එම සංගමයේ සභාපති චාරක පෙරේරා මහතා පැවසුවා.

මෙම වාතාවරණය නිසා, ආයතනික වශයෙන් විශාල මුදලක් ආයෝජනය කර පුහුණු කර ඇති පළපුරුදු, අති දක්ෂ වෘත්තිකයින් රටින් පිට වීම ද වැළැක්විය නොහැකි මට්ටමකට පත් වී ඇති බව ඒ මහතා ප්‍රකාශ කළා.

“දිවයින පුරා සුළු හා මධ්‍ය පරිමාණ අලෙවි නියෝජිතායතන 1,500 කට අධික සංඛ්‍යාවක් මේ වන විට වසා දමා තිබෙන බව වාර්තා වෙනවා. මේ තත්ත්වය ග්‍රාමීය ආර්ථිකයට සෘජුව ම බලපෑමක් ඇති කරන බව පැවසුවොත් මා නිවැරදියි. ඒ වගේ ම රථ වාහන අලෙවිය අඩු වීම වගේ ම ආයතනික පිරිවැය වැඩි වීම හේතුවෙන් අපගේ ව්‍යාපාරික ක්ෂේත්‍රය ආශ්‍රිතව ලබා දුන් කොමිස්, දිරි දීමනා, වැටුප් වර්ධක හා ප්‍රසාද දීමනා ආදිය ලබා දීමට නොහැකි වීම නිසා සේවක සේවිකාවන්ගේ ආදායමත් විශාල වශයෙන් අඩු වෙලා. එවැනි පසුබිමක් තුළ රටේ උද්ධමනය 64% ඉක්මවීම නිසා කාර්ය මණ්ඩලය රඳවා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙන බව පැවසිය යුතු ම යි. ඒ වගේ ම රථ වාහන අලෙවි ක්ෂේත්‍රයේ අනාගතය ගැටලුකාරී වීම නිසා ම මෙම ක්ෂේත්‍රය ආශ්‍රිත අත්දැකීම් බහුල වෘත්තිකයින් රට හැර දමා යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කිරීමත් විශාල ගැටලුවක්. මෙවැනි හේතු නිසා වර්තමානය වන විට අපගේ සංගමයේ සාමාජිකයින් දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත් වෙලා සිටින බව පැවසිය යුතු ම යි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: