hit counter

2024 මැයි මස 08 වන බදාදා

2023 ජනවාරි 12, ප.ව. 3:53



ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ද්වි පාර්ශ්වික ණය යම් ප්‍රමාණයක් කපා හැරීමකට හැකි ඉක්මණින් එකඟ වන ලෙස චීනයෙන් සහ ඉන්දියාවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලීමක් කර ඇති බව බී.බී.සී පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

තම ණය ගෙවීම පැහැර හැරි ශ්‍රී ලංකාව, ආර්ථික අර්බුදයෙන් ගොඩ එම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය පහසුකමක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණියත් ශ්‍රී ලංකාව, චීනයට සහ ඉන්දියාවට ගෙවීමට ඇති බිලියන ගණනක ණයෙන් යම් ප්‍රමාණයක් කපා හැරීමට එම රටවල් එකඟ වන තෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා එකඟතාවයකට පැමිණි ණය මුදල නිදහස් නොකරනු ඇතැයි බී.බී.සී පුවත් සේවය පෙන්වා දී තිබෙනවා.

ණය හිමියන් හැකි ඉක්මණින් අවශ්‍ය මූල්‍ය සහතික ලබා දීම තුළින් ශ්‍රී ලංකාවටත්, ණය හිමියන්ටත් යහපතක් සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බී.බී.සී පුවත් සේවයේ නිව්ස් නයිට් වැඩසටහනේදී ප්‍රකාශ කර තිබෙනවා.

ණය හිමියන් මූල්‍ය සහතික ලබා දීමෙන් ශ්‍රී ලංකාවට තම බැඳීම් ඉටු කරමින් නැවත වරක් ගෙවීම් සිදු කිරීමට අවස්ථාව ලැබෙන බවත් ශ්‍රී ලංකාවට තම බැඳීම් පැහැර හරිමින් දිගු කාලයක් සිටීමට අවශ්‍ය නොවන බවත් ඉන් තම රටට මෙන්ම රටවැසියන්ටද යහපතක් නොවන බවත් වීරසිංහ මහතා පෙන්වා දී තිබුණා. එමගින් ආයෝජකයන් ශ්‍රී ලංකාව පිළිබඳ තබා ඇති විශ්වාසය පළුදු වන බව වීරසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය වසර අවසාන වන විට චීනය සහ ඉන්දියාව නව ගෙවීම් ක්‍රමයකට එකඟ වෙතැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වුවත් එය සිදු නොවූ බව බී.බී.සී පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

ජනවාරි මාසය අවසාන වන විට එකඟතාවයකට පැමිණීමට හැකියාව තිබුණත් ඒ සියල්ල රඳා පවතින්නේ ණය හිමියන් මත බව වීරසිංහ මහතා පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්වි පාර්ශ්වික ණය හිමියා වන චීනයට විශාල වගකීමක් පැවරෙන බවත් ශ්‍රී ලංකාවේ ණය හිමියන් මූල්‍ය සහතික ලබා දීම ප්‍රමාද නොකරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවට ප්‍රමාද කිරීමට කාලයක් නොමැති බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය බී.බී.සී පුවත් සේවයේ නිව්ස් නයිට් වැඩසටහනට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා.