hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ජූලි 22, පෙ.ව. 2:26



මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසන්නේ උද්ධමනය මේ මාසය අවසන් වන විට 7% දක්වා පහළ බසිනු ඇති බවයි.

මහබැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ, CFA සොසයිටි ශ්‍රී ලංකා හෙවත් මෙරට වරලත් මූල්‍ය විශ්ලේෂක සමාජය සංවිධානය කළ විධායක නිලධාරී හමුවේදීයි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සිය අදහස් ප්‍රකාශ කළේ මෙසේයි,

“උද්ධමනය ඉහළ යාම ගැන අවධානය වැඩි වුණේ, එය 70%ක් දක්වා ඉහළ යාමත් සමඟයි. සමහරු හිතුවා එය 100% දක්වාම ඉහළ යාවි කියලා. ඒත් ඔබ බහුතරයක් දෙනා බරපතළ ලෙස විවේචනය කරපු දැඩි මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් විදිහට අපිට පුළුවන් වුණා දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක්, ඉතා දැඩි මූල්‍ය කොන්දේසි හඳුන්වා දෙන්න. එහි ප්‍රතිඵලයක් විදිහට මේ මාසේ අවසානය වන විට තනි අගයක උද්ධමන අගයක් දකින්න පුළුවන් වෙන මට්ටමක තමයි අපි ඉන්නේ. ජූලි මාසය අවසානය වන විට අපි 7%ක උද්ධමනයක් තමයි දකින්නේ. මේ මාසේ අවසානය වන විට උද්ධමනය ඊටත් වඩා අඩු අගයක් ගන්නත් පුළුවන්” යනුවෙන්.

2023 වසර සඳහා මෙරට ණය ගැනීමේ සීමාව ඉහළ නංවන්නේ හිඟය පියවීමට තවත් ණය ගැනීමට නොව, දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයට පහසුකම් සැලසීමට බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

සේවක අර්ථසාධක අරමුදලට මුහුණත වටිනාකමින් යුත් තවත් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට සහ මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් බැඳුම්කර බවට පත් කිරීමට සැලසුම් කරන බව ද මහ බැංකු අධිපතිවරයා මෙහිදී පැවසුවා.

කෙසේ වෙතත් ඔහු පැවසුවේ, ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අතිරික්තය මේ දක්වාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිත ප්‍රමාණයට වඩා අඩු බවයි.

එසේම, විසර්ජන පනතට අවශ්‍ය වෙනස්කම් සම්මත කර ගැනීමට අර්ධ වශයෙන් පහසුකම් සැලසීම සඳහා දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණ දිනය දීර්ඝ කළ බවත්, දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයෙන් පසු දේශීය දළ ණය ගැනීමේ අවශ්‍යතා පහත වැටීමට ඉඩ ඇති බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: