hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 මාර්තු 22, ප.ව. 2:58



ඉන්ධන මිල තීරණය කිරීම දේශපාලන අධිකාරියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවත්, ඉන්ධන මිල තීරණය කරන්නේ 2018 මිල සූත්‍රය අනුව පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අද (22) දින පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

අද (22) පාර්ලිමේන්තුවේ දී IMF විස්තීර්ණ මූල්‍ය පහසුකම පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

රාජ්‍ය වියදම් කළමනාකරණය …..

*රජයේ වියදම් සඳහා ලබාදෙනවා ප්‍රතිපාදන වැඩිකිරීමට පියවර.
*ප්‍රාථමික අයවැය ශේෂයේ සීමාවන් තුළ උද්ධමනයට සරිලන ලෙස වැටුප් හා විශ්‍රාම වැටුප් ගැලපීම.
*ඉන්ධන මිල තීරණය කිරීම දේශපාලන අධිකාරියෙන් සම්පූර්ණයෙන් ඉවත් කරනවා.
*ඉන්ධන මිල තීරණය කරන්නේ 2018 මිල සූත්‍රය අනුව පමණයි.
*සෑම 6 මසකට වරක්ම විදුලිබිල ගැලපීමට පියවර ගන්නවා.
*මහා පරිමාණයෙන් පාඩු ලබන මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රීලන්කන් ගුවන් සේවය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා විදුලිබල මණ්ඩලය ආයතනවල ශේෂපත්‍ර යළි සකස් කරනවා.
*ස්වෛරීය ඇපකර මත ලබාගත් විදේශ ණය ප්‍රමාණය ශ්‍රී ලංකා රජය ගෙවිය යුතු ණය ලෙස මාරු කිරීම.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සූත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම 2018 වසරේ මැයි 11 දින සිට ආරම්භ කෙරුණා. එය හඳුන්වා දෙන ලද්දේ දිවංගත මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යවරයාව සිටිය දීයි.

එම වකවානුවේ දී මෙම ඉන්ධන මිල සූත්‍රයේ අන්තර්ගතය කුමක්දැයි දිගින් දිගටම, විපක්ෂය ඇතුළු බොහෝ පාර්ශවවලින් දැඩිව විමසා සිටි අතර, එහිදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා  2018 ඔක්තෝබර් 18 වෙනි දින මුල් වරට මෙම ඉන්ධන මිල සූත්‍රය කුමක්දැයි අනාවරණය කර සිටියා.

මිල සූත්‍රය සඳහා පදනම් වන දර්ශක සහ එය ගණනය වන්නේ පහත ආකාරයෙන්. මෙහි එක් එක් විචල්‍යයන් පිළිබඳ විස්තරයක් ඊට පහළින් දැක්වේ.

මිල සූත්‍රය

MRP = V i + V ii + V iii + V iv

උපරිම සිල්ලර මිල (MRP) = වරාය ගොඩබාන පිරිවැය (V i) + සැකසීමේ පිරිවැය (V ii)

                                            + පරිපාලන පිරිවැය (V iii) + බදු පිරිවැය (V iv)

(V i) වරායේ ගොඩබාන පිරිවැය

මෙහි දී බැරලයක් සඳහා වියදම් වන සිංගප්පූරුවේ ප්ලැට්ස් මිල (Platt’s Price) මෙන්ම වාෂ්පවීම සහ රුපියලේ හුවමාරු වටිනාකම් ද සැලකිල්ලට ගැනේ.

(V ii)සැකසීමේ පිරිවැය

සැකසීමේ වියදම්වලට දේශීය වරාය ගාස්තු, ප්‍රවාහන නාස්ති, වෙළඳ නියෝජිතයාගේ වට්ටම් සහ වාෂ්පවීම් මෙන්ම තොග රඳවා ගැනීමේ වියදම් ද ඇතුළත්ය.

(V iii) පරිපාලන පිරිවැය

මේ යටතට සේවක වැටුප් දීමනා වැනි පරිපාලනමය වියදම් ද රුපියලේ අගය අවප්‍රමාණවීම ද ඇතුළුව අනෙකුත් ආයතනික වියදම් ද ඇතුළත් වේ.

(V iv) බදු පිරිවැය

මීට අයත්වන්නේ රේගු ආනයන බදු, වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු, ජාතිය ගොඩනැගීමේ බදු වැනි බදු ගෙවීම්ය.

මෙකී දර්ශක හතරෙහි එකතුවෙන් රථවාහන ඉන්ධන උපරිම සිල්ලර මිල (Maximum Retail Price) තීරණය වන බව එහිදී මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටියේය.

ඉහත මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේ දී සිංගප්පූරු  (Platt’s) බැරලයක මිල මෙන්ම රුපියලේ හුවමාරු වටිනාකම වෙනස්වීම පාලනය කළ නොහැකි විචල්‍යයන් වේ.  අනෙකුත් දර්ශකයන් පාලනය කළ හැකි ස්ථාවර ඒවා වේ.