hit counter

2026 ඔක්‍තෝබර් මස 06 වන අඟහරුවාදා

2026 අගෝස්‍තු 12, ප.ව. 5:26



මහජන බැංකුව සිය 65 වැනි සංවත්සරය නිමිත්තෙන් ‘Legacy 65’ සංවත්සර ආයෝජන සැලසුම හඳුන්වා දි ඇත.

මෙම ‘Legacy 65’ ආයෝජන සැලසුම, 2026 ජූලි 1 වන දින සිට සැප්තැම්බර් 3 වන දින දක්වා දින 65ක කාල සීමාවක් තුළ ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා වාර්ෂිකව 6% ක ආකර්ෂණීය පොලී අනුපාතයක් පිරිනමනු ලැබේ. මෙහිදී රු. 25,000/-, රු. 50,000/-, රු. 100,000/-, රු. 500,000/- සහ රු. 1,000,000/-යන වටිනාකම්වලින් යුත් ආයෝජන සැලසුම් හඳුන්වා දි තිබේ.

මේ පිළිබඳ අදහස් දැක් වූ මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) ඒ.යූ.ඒ. අන්සාර් මහතා, පුරා හැටපස් වසරක් මුළුල්ලේ, ශ්‍රී ලාංකිකයින් මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීම වෙනුවෙන් මහජන බැංකුව ඇප කැපවී කටයුතු කළා. මෙම ‘Legacy 65’ සංවත්සර ආයෝජන සැලසුම, ගනුදෙනුකරුවන් අප කෙරෙහි තබන නොසැලෙන විශ්වාසයට ඔවුන් වෙත පිදෙන උපහාරයක් වන අතර, දිගුකාලීන වටිනාකමක් ඇති ඵලදායි මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා වන අපගේ අඛණ්ඩ කැපවීම මින් පිළිබිඹු වනවා. මෙම සුවිශේෂ සංවත්සර ආයෝජන සැලසුම සමඟ සම්බන්ධ වන මෙන් ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා.

මහජන බැංකුව, ආරම්භයේ සිටම සාමාන්‍ය පොදු ජනතාව වෙත බැංකුකරණයට හුරුකිරීම, මූල්‍ය අන්තර්ගතකරණය සහ ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනය උදෙසා පුරෝගාමි කාර්ය භාරයක නිරත විය. දිවයිනේ සෑම ප්‍රදේශයකම සිටින ජනතාව වෙත සමීප වෙමින්, නව්‍ය ඩිජිටල් බැංකුකරණ විසඳුම් සහ ගනුදෙනුකාර කේන්ද්‍රීය මූල්‍ය සේවාවන් පිරිනැමීමට මහජන බැංකුව අඛණ්ඩව පියවර ගනී.