hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:12



මෙරට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු වෙනුවෙන් එක්සත් ජනපදය පදනම් කරගත් ආර්එම් පාර්ක්ස් (RM Parks) සමාගම විසින් අවශ්‍ය කාර්ය සාධන බැඳුම්කරය තැන්පත් කර ඇති බවත් ඔවුන්ගේ පළමු සැපයුම ඉදිරි මාස දෙක ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණිය හැකි බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඩී.වී. චානක මහතා පවසනවා.

රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දෙන්නේ,ඉන්ධන බෙදාහැරීමේ කටයුතු වෙනුවෙන් ඉදිරිපත්ව සිටි යුනයිටඩ් පෙට්‍රෝලියම් ඔස්ට්‍රේලියා (United Petroleum Australia) සමාගම ප්‍රමාදයකට මුහුණ පා සිටින බවයි.

චීනයේ සිනොපෙක්, යුනයිටඩ් පෙට්‍රෝලියම් ඕස්ට්‍රේලියා සහ එක්සත් ජනපදය පදනම් කරගත් ආර්එම් පාර්ක්ස් යන විදේශීය සමාගම් තුනකට ඉන්ධන බෙදාහැරීමට මේ වසරේ ජූලි මාසයේදී බලපත්‍ර ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන තිබුණේ ඉන්ධන ආනයනය වෙනුවෙන් රටෙහි සමස්ත විදේශ මුදල් සොයා ගැනීම සඳහා රජයට අයත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පීඩනය අඩු කිරීමේ අරමුණිනි.

සිනොපෙක් සමාගම දැනටමත් මෙරට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

“ආර්එම් පාර්ක්ස් සමාගම දැනටමත් ඩොලර් මිලියනයක කාර්ය සාධන බැඳුම්කරයක් තැන්පත් කර තිබෙනවා. ඩොලර් මිලියන 2ක බලපත්‍ර ගාස්තුව ඉදිරි සතියේදී තැන්පත් කරන බවට ඔවුන් අපට දන්වා තිබෙනවා.ඔවුන් බලපත්‍ර ගාස්තුව ගෙවූ දින සිට දින 45ක් ඇතුළත පළමු නැව්ගත කිරීම ගෙන ආ යුතුයි ” යැයි ඩී වී චානක මහතා ප්‍රකාශ කළා.

සිනොපෙක් සමාගම දැනටමත් මාසිකව ඩොලර් මිලියන 40ක ඉන්ධන ආනයනය කරමින් සිටින අතර සමාගම් තුනම සිය උපරිම හැකියාවෙන් මෙහෙයුම් ආරම්භ කළහොත් රජයට ඉන්ධන ආනයනයෙන් ඩොලර් බිලියන 1.5ක් ඉතිරි කර ගත හැකි බව රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාවෙන් විදේශ මුදල් ආපසු ගෙන්වා ගැනීම තහනම් කිරීමටත් තම මව් සමාගමෙන් ලැබෙන විදේශ මුදල් ආනයනය සඳහා භාවිත කළ යුතු බවටත් මෙම සමාගම් තුනට රජය කොන්දේසි පනවා තිබෙනවා.

ඉන්ධන සිල්ලර වෙළෙඳාමට එක්වන තුන්වැනි සමාගම වන යුනයිටඩ් පෙට්‍රෝලියම් ඕස්ට්‍රේලියා මේ වනවිට ප්‍රමාදයකට මුහුණ දී සිටින්නේ පෙර කොන්දේසිවලට පටහැනිව ඉල්ලීමක් සිදුකර තිබීම හේතුවෙනි.

“යුනයිටඩ් පෙට්‍රෝලියම් ඕස්ට්‍රේලියා සමාගම යම් කාලයක් ඉල්ලා තිබෙනවා. ඔවුන් ශ්‍රී ලංකාවෙන් පිටත ඩොලර් ප්‍රේෂණය කිරීමට අවසර ඉල්ලා සිටියා. අපි ඒකට ඉඩ දුන්නේ නැත්තේ පසුගිය කාලයේ අපිට තිබුණු ඩොලර් හිඟකමට විසඳුමක් සෙවීම මේකේ ප්‍රධාන අරමුණ නිසා,ඉලක්කය වූයේ සැපයුම්කරු වසරක් සඳහා තම රටෙන් ඩොලර් භාවිත කර ඉන්ධන ආනයනය කිරීම සහ තරඟකාරිත්වය වැඩි කිරීමයි. අපි අපේ අරමුණුවලින් බැහැර වෙන්නේ නැහැ.” යැයි ඩී වී චානක පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: