hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 26, පෙ.ව. 11:39



මධ්‍යසාර බෝතල් මත ආරක්ෂක ස්ටිකරයක් ඇලවීමට ගත් තීරණය ඉතා වැදගත් යෝජනාවක් බවත්, ඒ හේතුවෙන් වසරේ ගෙවී ගිය මාස 10ක කාලය තුළ පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සුරා බදු ආදායම 20%කින් වර්ධනය වී ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙසේ සුරා බදු ආදායම ඉහළ ගොස් ඇත්තේ මධ්‍යසාර භාවිතය 30%කින් අඩුවී ඇති පසුබිමක් තුළ බවයි.

නීති විරෝධී හෝ ව්‍යාජ මධ්‍යසාර වෙනුවෙන් වැය කළ මුදල් බදු ආදායම ලෙස ලැබීමේ මෙම වර්ධනයට හේතුව බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ව්‍යාජ ස්ටිකර් සහිත මධ්‍යසාර බෝතල් වෙළෙඳපොළේ පවතින බවට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

2016 වසරේ දී අයවැය යෝජනාවක් අනුව හඳුන්වා දුන් මෙම ආරක්ෂිත ස්ටිකරය මගින් ව්‍යජ මධ්‍යසාර භාවිතය දැඩි ලෙස වැලකී ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා අදාළ ස්ටිකරය මත රහස් සලකුණු රැසක් සටහන් කර ඇතැයි සඳහන් කළා.

එම ස්ටිකරය ව්‍යාජ දැයි හඳුනා ගැනීම සඳහා වන උපකරණ සුරා බදු දෙපාර්තමේන්තුව සතු ය. එසේ ම QR කේතය මගින් පාරිභෝගිකයාට ද අදාළ නිෂ්පාදනය ව්‍යාජ දැයි පරීක්ෂා කිරීමේ හැකියාව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් මධ්‍යාසාර ජාවාරම්කරුවන් ප්‍රබල පසුබෑමකට ලක්ව ඇති බවත්, ඔවුන් මෙම ස්ටිකරයේ ගුණත්මකභාවය ගැන ප්‍රශ්න කරමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙනවා.