hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 02, ප.ව. 1:43



2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව භාණ්ඩ කිහිපයක් මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු විශාල ලෙස ඉහළ දැමීමට ඊයේ (01) සිට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව යෝගට් ආනයනයේදී කිලෝග්‍රෑමයකට පනවා තිබූ රුපියල් 1000ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයට රුපියල් 2000 දක්වා ඉහළ දමා තිබෙනවා.

සියලුම වර්ගවල චීස් සඳහා කිලෝග්‍රෑමයකට පනවා තිබූ රුපියල් 400ක විශේෂ වෙළඳභාණ්ඩ බද්ද රුපියල් 600 දක්වා ඉහළ යනු ඇති.

දොඩම් ආනයනයේදී කිලෝග්‍රෑමයට රුපියල් 200ක්ව තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 600ක් දක්වා ඉහළ නැංවීමටද පියවර ගෙන තිබෙනවා.

මිදි සහ ඇපල් ආනයනයේදී පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දමා ඇත්තේ රුපියල් 300 සිට රුපියල් 600 දක්වායි.

අද වෙළඳපොලේ නිරීක්ෂණය කිරීමකදී වෙළෙන්දන් සිය අදහස් ප්‍රකාශ කළේ මෙලෙසයි,

“දැන් රුපියල් හය සීයක් වැඩියි කිලෝ එකකට. එතකොට රුපියල් 25,000කට වැඩිය කිට්ටු වෙනවා ඇපල් පෙට්ටියක්. දොඩම් වලටත් එහෙමයි. මිදි වලටත් එහෙමයි.”

“21,000ට යන ඇපල් එක තව 6,000ක් වැඩි වුණාම 27,000ක් විතර වෙනවා. වැඩි වෙන මිල එක්ක විකුණන්න ඕනේ 250ක් 280ක් තමයි. එතකොට තමයි ලාභයක් තියෙන්නේ.”

“දැන් ඇපල් ගෙඩියක් වෙනවා 175ක්. ඒ වෙනකොට 200 නම් වැඩි වෙනවා. 200 පනිනවා. මිදි දැනට යනවා කිලෝ 4 හමාර 9,000කට විතර. කිලෝ එකක් 1500කට විතර තමයි දෙන්න වෙන්නේ. 1500ක් 1600ක් වගේ වෙනවා එතකොට. දොඩම් අද යනවා 11,000ට. ගෙඩියක් 120ක් විතර වගේ වෙනවා.”

“මිදි කිලෝ එකක් 2500යි. ඇපල් ගෙඩියක් 150යි.” “මිලත් වැඩියි. බඩු ගෙන්නන්නෙත් නැහැනේ. ටැක්ස් එක වැඩි කරපුවම මහත්වරු ඕවා ගෙන්නන්නේ නැහැ.”

“අවශ්‍ය මිනිහා තමයි පූජාවකට ගෙඩියක් දෙකක් අරන් යන්නේ. ඉස්සර වගේ අපිට ලොකු වෙලදාමක් නැහැ.”