hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 18, ප.ව. 1:48



බදු ගෙවන දිරිය මිනිසුන් අගය කිරීම සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් සංවිධානය කරන වැඩසටහන් මාලාවේ පළමුවැන්න ලබන 23 වැනි දා කොළඹ දී ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවා.

පවතින ආර්ථික අර්බුදය තුළ නව බදු හඳුන්වා දීම්, පැවැති බදු අනුපාත වෙනස් කිරීම් සිදුව ඇති තත්ත්වයක් තුළ වඩාත්ම වැදගත් පාර්ශ්වය වන්නේ ප්‍රතිපත්ති සම්පාදකයන් නොව බදු ගෙවන්නන් බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

බදු ප්‍රතිපත්ති සකස් කිරීම සේම ඒවා පිළිබඳ නිරන්තර සංවාදයේ යෙදීම ද රජයේ වගකීම බව අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටිනවා.

“බදු හඳුන්වා දීමත් සමග නිති පතා  සංවාදයක යෙදෙන්න අපි සූදානම් කියල. නව බදු නිසා ඒ ඒ සමාජ පන්තීන් මූණ දෙන තත්ත්වයන්, අඩුපාඩු මොනව ද වගේ දේවල් සොයා බැලීමේ වගකීම අපට රජයක් විදියට තියෙනවා. ඒ වගේම වෙනස් කළ යුත්තේ මොනවද කියල දැනගෙන නම්‍යශීලි වෙන්නත් රජයක් විදියට අපි සූදානම්. මෙය ඇත්තෙන්ම සංවාදශීලී සාකච්ඡාවක්. තොරතුරු හුවමාරු කරගෙන අවශ්‍ය වෙනස්කම් සිදු කරමින් ඉදිරියට යාම තමයි අපේක්ෂාව” යැයි අමාත්‍යවරයා පැවැසුවා.

23 දා කොළඹින් ආරම්භ වන මෙම වැඩසටහන් මාලාව දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය පරිදි පැවැත්වෙන අතර මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව වැඩසටහන සංවිධානය කරනු ලබනවා.