hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ජූලි 26, පෙ.ව. 11:25



උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් කන්කසන්තුරය සිට ගල්කිස්ස දක්වා ‘යාල් නිලා’ නමින් අධිසුඛෝපභෝගි දුම්රිය සේවයක් අගෝස්තු 04 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

‘යාල් නිලා’ දුම්රියේ එක් ගමනාන්තයක් සඳහා පළමු පන්තියේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 4000ක් වන අතර දෙවැනි පන්තියේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 3000ක් වෙනවා.

තෙවැනි පන්තියේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 2000ක් වෙනවා.

ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් සිකුරාදා රත්‍රි 10.30ට පිටත් වන දුම්රිය සෙනසුරාදා පාන්දර 6.00ට කන්කසන්තුරයට ළඟාවීමට නියමිතව ඇත.

කන්කසන්තුරය ගමනාන්තයේ නවතා ඇති දුම්රිය ඉරිදා රාත්‍රී 10.30ට නැවත ගල්කිස්ස දක්වා ගමන් ආරම්භ කරන අතර සඳුදා පාන්දර 6.00ට ගල්කිස්ස දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතව ඇත.

මේ අතර, ඉරිදා ධාවනය වන සීතාවක ඔඩිසි දුම්රිය අගෝස්තු 5 වැනිදා සිට උදේ 8.30ට කොටුවෙන් පිටත්ව දහවල් 10.11ට වග තෙක් ගමන් ගන්නා අතර සවස 6.20ට අවිස්සාවේල්ලෙන් පිටත් වී කොළඹ කොටුවට රාත්‍රි 9ට ළඟා වීමට නියමිතය‍ි.

මෙම යාල් නිලා අධිසුඛෝපභෝගි දුම්රියේ තුන්වන පන්තියේ ආසන 106ක්, දෙවන පන්තියේ ආසන 128ක්, පළමු පන්තියේ ආසන 336කින් සමන්විත වන අතර ඔන්බෝඩ් පිරිසුදු කිරීමේ පහසුකම් මෙන්ම ආපණශාලාවකින් ද සමන්විත වීම විශේෂත්වයක්.

මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කරගත හැකි අතර සංචාරක ආකර්ෂණය දිනාගෙන ඇති ඇල්ල ඔඩිසි, සිතාවක ඔඩිසි දුම්රිය දෙකට අමතරව යාල් නිලා ඔඩිසි දුම්රිය ධාවනයට එක් කෙරෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා.

“පාලනය කළ නොහැකි හේතුවක් හැරෙන්නට මෙම ගමනාන්ත නවතා දැමීමට හැකියාවක් නැති බව කී අමාත්‍යවරයා කඩාකප්පල්කාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවත් උතුර දකුණ යා කර ජනතාවගේ සමඟිය සහජීවනය ස්ථාපිත කිරීමට අදාළ පාර්ශ්වයන් වගකීමෙන් කටයුතු කරනු ඇති බවත් අවධාරනය කළා. උතුර සහ දකුණ යා කරමින් දීර්ඝ කාලයක් යාල්දේවී දුම්රිය ධාවනය වුණා. යුද ගැටුම් නිර්මාණය වීමෙන් පසු මාර්ගය යළි ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු කන්කසන්තුරය සහ කොළඹ අතර දුම්රිය ධාවනය ආරම්භ වුණා. මීට මාස කිහිපයකට පමණ පෙර දුම්රිය ගමනාගමනය නතර කිරීමට අපට සිදු වුණා. අනුරාධපුර සිට ඕමන්ත දක්වා කොටස සම්පූර්ණයෙන් අලුත්වැඩියා කර පැයට කිලෝමීටර 100ක වේගයෙන් ධාවනය කිරීමට එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර නැවත දුම්රිය ගමනාගමනය ආරම්භ කර තිබෙනවා.” යැයි ද හෙතෙම කියා සිටියා.

මෙහිදී අදහස් දැක්වූ දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී වජිර සමන් පොල්වත්තගේ මහතා පැවසුවේ 2022 වසරේ ඇල්ල ඔඩිසි දුම්රියෙන් මිලියන 152ක ආදායමක් උපයා ඇති බවයි.

ඇල්ල ඔඩිසි දුම්රියෙන් 2023 මේ දක්වා මිලියන 144ක ආදායමක් උපයා ඇති බව ද කීය.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කළ සීතාවක ඔඩිසි සංචාරක දුම්රියෙන් රුපියල් මිලියන 2.5ක ආදායමක් මේ දක්වා උපයා ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: