hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මැයි 17, පෙ.ව. 11:33



එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය හරහා ශ්‍රී ලංකාවේ වියළි සහ අතරමැදි කලාපවල පිහිටි තෝරාගත් දිස්ත්‍රික්කවල කුඩා පරිමාණ වී ගොවීන්ගේ නිෂ්පාදන හැකියාව ඉහළනැංවීම සඳහා ජපාන රජය ඇමරිකානු ඩොලර් මිලියන හතරක් (4,629,629ක්) පිරිනමා තිබෙනවා.

වියළි සහ අතරමැදි කලාපවල පිහිටි තෝරාගත් දිස්ත්‍රික්කවල කුඩා පරිමාණ වී ගොවීන් දෙලක්ෂ පනස්දහසකට පමණ ඉදිරි මහ කන්නය සඳහා යූරියා පොහොර කිලෝග්‍රෑම් 50 දක්වා මෙම වැඩපිළිවෙළ හරහා ආධාර ලැබෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසනවා.

මෙම පොහොර බෙදාහැරීම් නොමිලේ සිදුවන්නේ යැයිද ඊට කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහාය වන්නේ යැයිද එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙනවා.

කුඩා පරිමාණ වී ගොවීහු ප්‍රධාන වශයෙන් තම පරිභෝජනය සඳහා සහල් වගාකරන්නේ යැයිද ඔවුන් වඩාත් අවදානමට ලක්විය හැකි ග්‍රාමීය ප්‍රජාවක් යැයිද එම නිවේදනයේ සඳහන් වෙනවා.

නොකඩවා කන්න දෙකකදී පොහොර නොලැබීම හේතුවෙන් අස්වැන්නේ සැලකිය යුතු ලෙස පහත වැටීමක් සිදුවූ බැවින් ඇතැම් ගොවීන් තම ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා උකස් කිරීම්, ණය ගැනීම් හා ඉතුරුම් වියදම් කිරීම් යනාදී ඍණාත්මක හැඩගැසීම්වලට පෙලඹුණේ යැයිද එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සිය නිවේදනයෙන් පවසනවා.

විදේශ විනිමය හිඟය හේතුවෙන් හිඟව පවතින පොහොර ලබාගැනීම සඳහා තවදුරටත් මානුෂීය ආධාර ලබාදීමට ජපාන රජය තීරණය කර ඇතැයිද මෙම ආධාර ආහාර නිෂ්පාදන ධාරිතාව පූර්ව අර්බුද මට්ටම්වලට ප්‍රතිෂ්ඨාපනය කිරීමට උපකාරී වනු ඇතැයිද මෙම වැඩපිළිවෙළ ගැන අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිදෙඅකි පවසනවා.

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය වැඩිදියුණු වෙමින් පවතින නමුත් යළි යථා තත්ත්වයට පැමිණීමට තවත් වගා වාර තුන හතරක් ගත විය හැකි යැයි ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත විමලේන්ද්‍ර ශරන් පවසනවා.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය අවදානමට ලක්විය හැකි ගොවීන්ට සහ ධීවරයන්ට ඔවුන්ගේ ජීවනෝපාය පවත්වා ගැනීමට උපකාර කිරීම සඳහා සෑම තරාතිරමකදීම පෙනී සිටින්නේ යැයිද ඒ සඳහා ජපාන රජය දක්වන සහායට ස්තුතිය හිමිවිය යුතු යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.