hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 30, ප.ව. 4:27



රටපුරා පවතින ඉන්ධන හිගය නිසාවෙන් එළවළු මිල විශාල වශයෙන් පහත බැස්වීමට සිදුවෙන බවත් රටපුරා ඉන්ධන ජාවාරම් නිසා එළවළු ගොවීන් මෙන්ම එළවළු මිලදී ගන්නා වෙළෙන්දන්ද  පීඩනයට පත් කර ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන පැමිණි වෙළෙන්දන් ගොවීන් පවසයි.

මේ දිනවල එළවළු මිල යම් මට්ටමකින් පහත වැටී තිබෙනවා.

ඊට ප්‍රධානතම හේතුව බවට ගොවීන් ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ ඉන්ධන හිගය බවයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ අද (30) දහවල් වන විට විශාල එළවළු තොග අලෙවි කර ගැනීමට නොහැකිව තබා තිබෙන අයුරු දැක ගැනීමට හැකි වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

ගොවීන් කියා සිටින්නේ උදෑසන සිට තම නිෂ්පාදන අපහසුතා මධ්‍යයේ වෙළඳපොළට රැගෙන ආවාද එළවළු මිලදී ගැනීම සඳහා පිට පළාත්වලින් එන වෙළෙන්දන්ගේ අඩුවීම හේතුවෙන් නිසි මිලකට අලෙවි කර ගැනීමට නොහැකි වී තිබෙන බවයි.

ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන ඇතැම් වෙළෙන්දන් අඩු මිලට තම නිෂ්පාදන ඉල්ලන බව ද ඔවුහු පෙන්වා දෙනවා.

ආර්ථික මධ්‍යස්ථානයට එළවලු මිලදී ගැනීම් සඳහා පැමිණෙන වෙළෙන්දන් කියා සිටියේ ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම්හල් ඉදිරිපිට පෝලිම්වල සිටියද ජාවාරම්කරුවන් නිසා ඉන්ධන ලබා ගැනීමට නොහැකි බවයි.

එම නිසා ඉන්ධන වැඩි මිල ගණන් යටතේ පිටස්තර පුද්ගලයන්ගෙන් මිලදී ගෙන එළවළු කොපමණ මිල අඩුවට රැගෙන ගියද ඉන්ධන වැඩි මිලට ගැනීම නිසා පාරිභෝගිකයන්ට වැඩි මිලට එළවළු අලෙවි කිරීමට සිදුවන බවයි.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස