hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 09, ප.ව. 12:11



එලවළු නිෂ්පාදන වියදම ඉහල යාම හමුවේ උඩරට සහ පහතරට සුළු පරිමාණ එලවළු ගොවින් එලවළු වගාවෙන් ඉවත් වීම නිසා ඉදිරි උත්සව සමයේ එලවළු මිල ඉහල යා හැකි බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවා.

අද (08) නුවරඑලියේදි මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ තවමත් රසායනික පොහොර වැඩි මිලට මිලදී ගැනීමට සිදු වීම, කෘෂි රසායනික ද්‍රව්‍ය මිල ඉහල යාම සහ කාලගුණික විපර්යාස හේතුවෙන් එලවළු වගාවෙන් පාඩු සිදු වන නිසා සුළු පරිමාණ එලවළු ගොවියා වගා කටයුතු වලින් ඉවත් වී ඇති බවයි.

මහ පරිමාණ එලවළු ගොවියාට පමණක් වෙලදපොලට ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදිය නොහැකි බවත්, ඒ අනුව එලවළු වගාවෙන් ඉවත් වි සිටින එලවළු ගොවියා යලිත් ගොවිතැනට ගෙන ඒමට රජය ගොවින්ට සහන සලසා දි කටයුතු කල යුතු බවයි.

ජපානයේ හරිත වගා තාක්ෂණය මෙරටට හදුන්වාදී ගොවියා ශක්තිමත් කිරිමටත්, රුසියාවෙන් මෙරටට කිලෝ 50 ක  රසායනික පොහොර මිටියක් රු 10000 මිලකට ගොවින්ට ලබාදිමට හැකියාවක් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තමන් සාකච්ඡා පවත්වා ඇති බවත්, ඒ අනුව රුසියාවෙන් රසායනික පොහොර ආනයනය කර ගොවින්ට ලබාදිය යුතු බවයි අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටින්නේ.

මේ අතර නුවරඑලිය ප්‍රදේශයේ එලවළු වගා කරන ගොවින් කියා සිටින්නේ අක්කරය සහ අක්කර ½ කාලයක් තිස්සේ එලවළු වගා කර තමන් ලාභ උපයාගත් බවත්, වර්තමානයේ එලවළු වගාව සිදු කර පාඩු ලබන නිසා තමන් එලවළු වගාවෙන් ඉවත් වි සිටින බවයි.