hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූනි 02, ප.ව. 4:00



වව්නියාව ගණේෂපුරම් ප්‍රදේශයේදී ළිඳක තිබී සොයාගත් 15 හැවිරිදි සිසුවියගේ මළ සිරුරේ පශ්චාත් මරණ පරික්ෂණය කිරීමෙන් අනතුරුව සිසුවිය ලිංගිකව අපයෝජනයක් හෝ දූෂණයක් වී නොමැති බවටත් ජලයේ ගිලීමෙන් මරණය සිදුව ඇති බවට වාර්තා වී ඇතැයි වව්නියාව පොලීසිය පවසයි.

වව්නියාව අධිකරණ වෛද්‍ය නිලධාරී ආර්. ධනුජන් මහතාගේ ප්‍රධානත්වයෙන් පශ්චාත් මරණ පරික්ෂණය වව්නියාව රෝහල් මෘතශරීරාගාරයේදී සිදු කර තිබෙනවා.

මේ හේතුවෙන් අදාල සිසුවිය මෙලෙස ළිඳට පැනීම හෝ වැටීම සම්බන්ධයෙන් පැතිකඩ කිහිපයක් ඔස්සේ පරික්ෂණ අරඹා ඇති බවටත් යම් හෙයකින් දැරිය කිසියම් මානසික පීඩනයකින් සිටියේද යන්න පිළිබඳව සෙවීම් සිදු කරන බවටද පොලීසිය පැවසුවා.

දැරියගේ මව විදෙස්ගතව සිටින අතරම පියා වෙනත් කසාදයක් සිදු කරගෙන සිටින බැවින් දැරිය ඥාති නිවෙසක සිටින අතරතුරදී කිසියම් පීඩනයක් තිබුනේද එසේත් නැතිනම් මානසික ආබාධයක් හෝ තිබුනේද සහ වෙනත් සබඳතාවක් හේතුවෙන් ඇතිවූ සිත්තැවුලක් මත ළිඳට පැන සියදිවී හානි කරගත්තේද යන්න පිළිබඳව සැක සහිත බැවින් වැඩිදුර පරික්ෂණයක් අරඹා ඇතැයිද වව්නියාව පොලීසිය සහ නෙලුක්කුලම් පොලීසිය පවසයි.

පසුගිය 31 වනදා ගනේෂපුරම්හි පදිංචි 15 හැවිරිදි රාසේන්ද්‍රන් යදුර්ෂි සිසුවිය සවස උපකාරක පංතියකට ගොස් නිවසට නොපැමිණීම හේතුවෙන් ප්‍රදේශවාසීන්, පොලීසිය සහ යුද හමුදාව ඒකාබද්ධව සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී සිසුවියගේ මළ සිරුර පාලු ළිඳක තිබී සොයා ගත්තා.

වන්නි – රොමේෂ් මධුෂංඛ