hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 11, ප.ව. 5:55



වසර පනහකට ආසන්න කාලයකට පසු රුසියානුවන් විසින් සඳ මත ගොඩබසින යානයක් දියත් කරනු ලැබුණා. ලූනා-25 ලෙස නම් කර ඇති මෙම යානය මොස්කව් වෙලාවෙන් අගෝස්තු 11 වනදා අළුයම 2.10 ට (ලංකාවේ වේලාවෙන් අළුයම 5.40 ට​) රුසියාවේ වස්තොච්නි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගමන් ආරම්භ කළා.

සෝවියට් දේශය අවසන් වතාවට සඳ මතට යානයක් ගොඩබස්වන ලද්දේ 1976 වසරේ යි. ඒ ලූනා-24 යානයයි. සෝවියට් දේශයේ බිඳවැටීමෙන් පසු මෙතෙක් රුසියාව විසින් සඳ මතට යානයක් ගොඩබස්වා තිබුණේ නැහැ.

කිලෝග්‍රෑම් 800 ක් බරැති ලූනා-25 යානය දින පහකදී සඳෙහි කක්ෂයට ඇතුල් වේ යයි අනුමාන කෙරෙන අතර සතියකින් පමණ සඳෙහි දකුණු ධ්‍රැවය ආසන්නයට ගොඩබසිනු ඇති. ඉන්දියාව විසින් පිටත් කළ චන්ද්‍රයාන්-3 යානය ද එම සමයෙහි ම දකුණු ධ්‍රැවය වෙත ගොඩබසින්නට නියමිතව තිබෙනවා. මේ හේතුව නිසා සඳෙහි දකුණු ධ්‍රැවය ප්‍රදේශයේ ගොඩබසින පළමු යානය මේ දෙකෙන් කවරක් හෝ විය හැකියි.

මෙතෙක් සඳ මත සාර්ථකව යානා ගොඩබස්වා ඇත්තේ ඇමරිකාව​, සෝවියට් දේශය සහ චීනය පමණයි. එම ගොඩබැසීම් ද සඳෙහි සමකාසන්න පෙදෙස්වලට සිදුකළ ගොඩබැසීම් වනවා.

රුසියාවේ රස්කොස්මොස් (Roscosmos) ආයතනය පවසන පරිදි ලූනා-25 යානය වසරක කාලයක් සඳෙහි රැඳී සිට එහි පෘෂ්ඨයේ සංඝඨක මෙන්ම වායුගෝලය ගැන ද පරීක්ෂණ පවත්වනු ඇති බවයි.

රුසියාවේ රස්කොස්මොස් ආයතනය මෙම යානය පිටත් කර හරින්නේ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ සහය නොමැතිවයි. 2022 යුක්‍රේන යුද්ධය ඇරඹීමෙන් පසු ඔවුන් රුසියාව සමග කටයුතු කිරීම අත්හිටවනු ලැබුණා. එමෙන්ම බටහිරින් එන ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතයට ද රුසියාවට මේ අනුව අවස්ථාව ලැබෙන්නේ නැහැ. එහෙයින් මෙම මෙහෙයුමෙහි වැදගත්ම අරමුණ රුසියාවට මෙවැනි මෙහෙයුමක් සාර්ථක ලෙස සිදුකිරීමට හැකියාව ඇති බව පෙන්නුම් කිරීම සහ එතුලින් ලබාගන්නා අත්දැකීම් බවයි පෙනෙන්නට තිබෙන්නේ.