hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 මැයි 14, පෙ.ව. 10:56



මෑතකදී හර්කෆ් (හර්කිව්) පළාත වෙත එල්ල වූ රුසියානු ප්‍රහාර සාර්ථක වූ හේතුවක් වූයේ යුක්‍රේනය එම කලාපයේ ආරක්ෂක වළලු ඉදි කිරීම කෙරෙහි අවධානය යොමු නොකර තිබීම බව බීබීසීය වාර්තා කරනවා.

බීබීසීයට අදහස් දක්වන යුක්‍රේන හමුදා සාමාජිකයකු සඳහන් කර ඇත්තේ මැයි 10 වනදා රුසියානුවන් විසින් එල්ල කළ ප්‍රහාරයෙදී ඇතැම් ස්ථානවලින් රුසියානු සෙබළුන් කිසිදු බාධාවකින් තොරව දේශසීමාව තරණය කළ බවයි.

මෙම ප්‍රදේශ 2022 පෙබරවාරියේදී රුසියානුවන් අතට පත්වූ නමුත් 2022 සැප්තැම්බරයේ එල්ල කරන ලද යුක්‍රේන ප්‍රතිප්‍රහාරයන් හිදී නැවත යුක්‍රේනය අතට පත්වුණා. එතැන් පටන්ම මෙහි ආරක්ෂාවට නිසි පියවර ගෙන නොමැති බව පෙනෙන්නට තිබෙනවා.

ඉහත කී නිලධාරියා සඳහන් කර තිබෙන්නේ මෙය නොසැලකිල්ල නිසා හෝ දූෂණය නිසා හෝ සිදුවූවක් විය හැකි බවයි. කෙසේ වෙතත් යුක්‍රේනය පාවාදීමක් සිදුව ඇතැයි ඔහු චෝදනා කරනවා.

ඊයේ වනවිට රුසියානු ප්‍රහාරය විසින් ගම්මාන නවයක් අල්ලාගෙන තිබුණු අතර වල්චාන්ස්ක් (වොව්චාන්ස්ක්) නගරයට උතුරු දෙසින් සටන් සිදුවෙමින් පැවතුණා. යුක්‍රේනය විසින් වව්චාන්ස්ක් යයි හඳුන්වන නගරයේ 2022 වනවිට 17,000 ක ජනගහනයක් ජීවත් වුණා. එය රුසියානු දේශසීමාවේ සිට කිලෝමීටර පහක් ඈතින් පිහිටි නගරයක්.

වොව්චාන්ස්ක් මිලිටරි පරිපාලක තමාස් ගම්බරාශ්විලි යුක්‍රේන මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ රුසියානු ප්‍රහාර නිරන්තරයෙන් එල්ල වීම හේතුවෙන් ආරක්ෂක වළලු ඉදි කිරීමට බාධා සිදුවූ බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: