hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 02, ප.ව. 2:04



2023 වසරේ ආරම්භක දිනයදීම සීගිරිය අභය භූමියේ පිහිටා ඇති විශාල ගස් කොළන් බිම් හෙලා රැගෙන යෑමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.

වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සීගිරිය අභය භූමියේ සහ මින්නේරිය ගිරිතලේ ස්වාභාවික රක්ෂිතයේ පිහිටා ඇති රක්ෂිත වල තිබුණු වසර සියගානනාවක් ඉපැරණි කොලොන් ගස් මේ ආකාරයෙන් යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන කපා ලොරි රථවලින් සහ ටැක්ටර් රථවලින් පටවාගෙන ගොස් ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.

මෙම මහා පරිමාණ දැව ජාවාරම මාස එකහමාරක පමණ කාලයක සිට සීගිරිය හබරණ අතුරු මාර්ගයේ දෙපස සහ පිටත සිදුවන බව වන සංරක්ෂණ වන ජීවි නිලධාරීන්ට දැනුවත් කළ ද කිසිදු පලක් නොමැති තැන ප්‍රදේශවාසීන් මේ පිළිබඳව රටේ බලධාරීන්ගේ අවධානය යොමු කර දෙන මෙන් ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කර සිටියා.

ඒ අනුවන වසරේ උදාවත් සමඟ සීගිරිය අභය භූමියට අද (02) අලුයම ගිය මාධ්‍යවේදී කණ්ඩායමට දැක ගැනීමට හැකි වූයේ ඉතා ඉපැරණි කොලොන් ගස් සහ තවත් ගස් වර්ග රැසක් රාත්‍රියේ කපා බිම දමා ඒවායේ දැව කඳන් වාහනවලින් රැගෙන ගොස් ඇති ආකාරයයි.

වන සතුන් සහ කුරුල්ලන්ගේ හඬ පමණක් ඇසෙන මෙම අභය භූමිය මනස්කාන්ත පරිසරයක පිහිටා තිබීම නිසා බොහෝ දෙස් විදෙස් සංචාරකයන් සීගිරිය සිට පොලොන්නරුවට ගමන් කිරීමට මෙම රක්ෂිතය අභය භූමිය මැදින් වැටී ඇති මාර්ගය භාවිතා කරනවා.

එම මාර්ගයේ දෙපස තිබූ විශාල ගස් මෙන්ම රක්ෂිතය ඇතුළේ විශාල ගස් කපා ගෙන රැගෙන ගොස් ඇති අයුරු ද දැක ගැනීමට හැකි වුණා.

එමෙන්ම රක්ෂිතය පුරා මාර්ග වල ලොරි රථ ටැක්ටර් රථ රැගෙන ගොස් ඇති සලකුණු ඕනෑතරම් දැක ගැනීමට ද හැකියි.

දැව ජාවාරමට අමතරව වන සතුන් දඩයමේ පැමිණි පුද්ගලයන් සීගිරිය අභය භූමියේ ගිනිමැල ගසා ගෙන රැය පහන් කරන ස්ථාන ද ඕනෑතරම් දැක ගැනීමට හැකි වීම විශේෂත්වයක්.

එමෙන්ම මෙම අභය භූමියේ සාමාන්‍ය ජනතාවට ඇතුළු වීමට හෝ අඩුම තරමේ කෝටු කැබැල්ලක් කැපීමට ඉඩ නොදෙන බවත් ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ නව වසර උදාවීම සමඟම දැවැන්ත ලෙස මෙම අභය භූමියේ වසර ගණන ගණනාවක් තිබූ ගස් කොලන් ලොරි වලට පටවා ගෙන යන්නේ කෙසේදැයි ප්‍රදේශවාසීහු ප්‍රශ්න කර සිටිනවා.

ප්‍රදේශවාසීන් කියා සිටියේ රාජ්‍ය නිලධාරීන් සමග එක්වූ මහා පරිමාණ ජාවාරම්කරුවන් දිගින් දිගටම සීගිරිය අභය භූමියේ මහා පරිමාණ ජාවාරම් සිදු කරගෙන යන බවයි.

මෙම ජාවාරම් පිළිබඳව හෙළිදරව් කරන ප්‍රදේශයේ අසරණ ජනතාවට සිදුවන්නේ ඒ වන ජීවී නිලධාරීන්ගේ විවිධ තාඩන පීඩනවලට ලක්ව සිර දඹ නඩු වලට පැටලවීම බව ද ඔවුහු පෙන්වා දෙනවා.

මෙම අභය භූමිය තුළ සිදුකෙරෙන ජාවාරම් හෙළිදරව් කිරීම් සඳහා අද (02) පෙරවරු රක්ෂිතය මැදින් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු කියා සිටියේ ප්‍රදේශයේ ඕනෑ තරම් එවැනි ජාවාරම් සිදුවන බවයි.

තමන් ඇතුළු කණ්ඩායම ගොවිතැන් කරගෙන ජීවත් වන බව ද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් එම දෙදෙනා ද වනය තුළට යතුරු පැදියෙන් ගමන් කරන අයුරු දැක ගැනීමට හැකි වුණා.

සීගිරිය නැරඹීම් සඳහා දෙස් විදෙස් සංචාරකයෝ බොහෝ දෙනෙක් පැමිණ සීගිරිය අභය භූමියේ ඇති පරිසර අලංකාරය වන සතුන් දැක ගැනීම සඳහා දැඩි රුචිකත්වයක් දක්වනු ඇති.

එමෙන්ම ප්‍රදේශයෙහි ලී කැටයම් කලාවට ද ඉමහත් ඉල්ලීම්ක් පවතී ,බොහෝ දෙනෙකුගේ අදහස් බවට පත්ව ඇත්තේ වනාන්තරයේ පමණක් හැදෙන වැඩෙන අතිවිශාල කොලොං නැමැති වෘක්ෂය කැටයම් කලාව සඳහා බොහෝ දෙනෙකු යොදා ගන්නා රුක්ෂයක් බවයි.

සීගිරිය අභය භූමියේ සිදු කෙරෙන මෙම මහා පරිමාණ ජාවාරම පිළිබඳව සීගිරිය වනජීවී කාර්යාලයේ විමසීමේදී එහි උසස් නිලධාරියකු කියා සිටියේ සීගිරිය හබරණ මාර්ගයේ ගස් කපා ඇති කොටස තාම සේවා ප්‍රදේශයට අයිති නැති බවයි.

මින්නේරිය ගිරි තලයේ ස්වභාවික රක්ෂිතයේ වනජීවී කලාපයට අයිති බවයි.

පසුව අප මින්නේරිය ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකාර ප්‍රදීප් කුමාර මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ සීගිරිය සහ මින්නේරිය ගිරිතලේ ස්වභාවික රක්ෂිත හා අභය භූමියේ මෙවැනි දැව සංහාරයක් සිදු වන බවට තමාට කිසිදු තොරතුරක් මෙතෙක් ලැබී නැති බවයි.

කෙසේවෙතත් තමා ඒ පිළිබඳව සොයා බැලීමක් සිදු කොට එවැනි දෙයක් සිදු කර ඇත්නම් නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි සඳහන් කළේ.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස