hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 29, පෙ.ව. 5:12



මත්ද්‍රව්‍ය විකිණීම වහාම නතර කරන්න්නැයි තමන් ඒවා විකිණීමෙහි නියැළෙන පුද්ගලයින්ට ප්‍රකාශ කරන බවත් ඔවුන් එය නවත්වන්නේ නැතිනම් කුමන ක්‍රමයකින් හෝ ඔවුන්ව නැවැත්වීමට තමන් කටයුතු කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අවධාරණය කරනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශයේ විශේෂ මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා.

“එක පැත්තකින් අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ගමන් අපි පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු සෑම දෙනාම එකතුවෙලා මේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නය විසඳන්න සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. මම ළඟදීත් කිව්වා වගේ ජනාධිපතිතුමාත් මට උපදෙස් දීලා තියෙන්නෙ, ගන්න තියෙන ඕනෙම තීරණයක් අරගෙන මේක නවත්වන්න කියලා. ඉතින් මම කැමතියි පණිවිඩයක් දෙන්න මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයින්ට.”

“කරුණාකරලා මේ දෙය නවත්වන්න. තමන්ගෙ දරුවන්, රටේ දරුවන් ඇතුළු මේ සමාජයම විනාශ කරන දෙයක් ඔවුන් කරන්නෙ මේ මත්ද්‍රව්‍ය හැමතැනම විකුණලා. ඉතින් අපි කියන්නෙ ඒක නවත්වන්න, ඔවුන් ඒක නැවැත්වුවේ නැත්නම් අපට ඒක නවත්වන්න වෙනවා මොන ක්‍රමයකින් හරි. අපි අනිවාර්යයෙන්ම මේ වසරේ ඉදිරි මාස කිහිපයේදී ඒ වැඩකටයුතු පටන් අරගෙන ඒ දෙය කරනවා. මේකත් එක්කම තමයි පාතාලය එන්නෙ. ඔබ දකිනවා ඇති ඔවුන් විටින්විට මෝටර් සයිකල් එක්කින් එනවා, වෙඩිතියනවා. ඔවුන් සතුව ඒ අවි ආයුධ තියෙනවා. අවි ආයුධ හම්බුවෙන්නෙත් මේ කුඩු, අයිස් මත්ද්‍රව්‍ය එක්ක. අපි යම්කිසි වැඩපිළිවෙලක් පටන් ගන්නවා මේ දෙයත් නැති කරන්න. මගේ නම් පුද්ගලික අදහස තමයි මේවාට දැඩි නීතිරීති ගේන්න ඕනෙ කියන එක”