hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 07, පෙ.ව. 10:31



මැතිවරණය වැළැක්වීමේ හැකියාවක් ඇත්තේ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කිරීමෙන් හෝ අධිකරණය හමුවේ තිබෙන නඩුවේ නියෝගය අනුව පමණකැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවා.

රත්නපුර සහකාර මැතිවරණ කොමසාරිස් සුරංග අඹගහතැන්න මහතා හමුවීමෙන් අනතුරුව රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ බව සඳහන් කළා.

එහිදී අදහස් දැක්වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙසේ ද කියා සිටියා,

“නාමයෝජනා ගත්තත් පළාත් පාලන මැතිවරණය පවත්වන එකක් නෑ කියලා සමහරුන්ගේ විශ්වාසයක් තියනවා. ආණ්ඩුව සල්ලි නැති නිසා මැතිවරණය තියන්න බෑ කියන පදනම ජනගත කරනවා. මුදල් නැහැ කියලා ලෝකයේ කිසිම රටක් මැතිවරණ පවත්වන්නේ නැතිව ඉඳලා නෑ. පාර්ලිමේන්තුවේ පනතක් ගෙනත් මැතිවරණය කල්දාන්න වත්මන් වාතාවරණය අනුව අමාරුයි. එහෙම කළොත් අධිකරණය හමුවේ ඊට අභියෝග කරන්න කෙනකුට පුළුවන්.

ලබන 10වැනිදා මේ මැතිවරණය සම්බන්‍ධයෙන් අධිකරණයේ ඇති නඩුව කැඳවන බවත් එදින මැතිවරණය අත්හිටුවීමේ නියෝගයක් ලැබෙන බවටත් සමහරු පුරෝකථනය කරගෙන යනවා. එහෙත් 2016 ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සම්බන්ධ නඩුව සහ 2008 වරුණ කරුණාතිලක නඩුකරවල තීන්දු මැතිවරණ සම්බන්ධයෙන් අධිකරණ මගින් දුන් පූර්වාදර්ශ නඩු තීන්දු අපට තියනවා. ඡන්දදායකයාගේ ඡන්ද අයිති පැහැර ගැනීමට ගත් උත්සාහයේ දී ඒ අයිතිය රැක දීමට අධිකරණය ක්‍රියා කළ එම නඩුකරවලට සමාන ඉල්ලීමක් මෙවරත් තියන නිසා පූර්වාදර්ශ නඩු තීන්දුවලට සමාන නියෝගයක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මැතිවරණය පැවැත්වීම ගැන සැක ඇතිකර ගන්න එපා.”