hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 6:29



සංචාරක වීසා මාර්ගයෙන් ඩුබායි රැකියා සඳහා කාන්තාවන් පිටත් කළ වංචාකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ, සංචාරක වීසා මගින් ශ්‍රී ලාංකික කාන්තාවන් විදේශ රැකියා සඳහා පිටත් කර රැකියා ලබානොදී එරට රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටින බවට වාර්තාවීමත් සමගයි.

ඒ අනුව විමර්ශන කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට ගොස් ඇති අතර තවත් කණ්ඩායමක් සංචාරක වීසා මගින් ඩුබායි රැකියාව සඳහා ගොස් පොරොන්දු වූ පරිදි රැකියාව නොලැබීම හේතුවෙන් යළි දිවයින පැමිණි කාන්තාවගේ නිවසට ගොස් තිබේ.

සංචාරක වීසා මගින් පුද්ගලයින් රැකියා සඳහා යොමු කළ ජනතා විදේශ රැකියා නියෝජිතායතනයේ බලපත්‍රලාභියාව ඊයේ (23) කාර්යාංශයේ දඹුල්ල ශාඛාව වෙත කැඳවා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එසේම ඩුබායි රාජ්‍යයේ රැඳීසිටින කාන්තාවන් 85දෙනා පිළිබඳව ඩුබායි කොන්සල් කාර්යාලය වෙත ලිඛිතව දැනුම්දී ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.

වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් විදේශ රැකියා සඳහා යෑමට උනන්දු බැවින් වංචාකරුවන් ඉන් ප්‍රයෝජන ගැනීමට පෙළඹී සිටින බව එම කාර්යාංශය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඒ සම්බන්ධයෙන් කාර්යාංශයට ලැබෙන පැමිණිලි දිනෙන් දින ඉහළ යන බවත් www.slbfe.lk වෙබ් අඩවියෙන් හෝ කාර්යාංශයේ පැය 24 පුරා ක්‍රියාත්මක තොරතුරු මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1989 ඇමතීම මගින් මහජනතාවට රැකියා නියෝජිතායතනවල නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු දැනගත හැකියි.

විදේශ රැකියා වංචාකරුවන් පිළිබඳව තොරතුරු දන්නේ නම් ඔවුන් පිළිබඳව තොරතුරු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත 0112 86 42 41 අංකය ඔස්සේ දැනුම්දිය හැකියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: