hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 16, ප.ව. 1:59



හොරණ කොළඹ මාර්ගයේ ගෝනපොළ කුඹුක ප්‍රදේශයේදී මෝටර් රථයකින් යමින් සිටි ලී මෝල් හිමියකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තබා බරපතළ තුවාල සිදුකර පලාගොස් ඇතැයි මොරගහහේන පොලිසිය පවසනවා.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ පානදුර උතුර හොරේතුඩුව ගැමුණු මාවත පදිංචි අබන්පොල කංකානන්ගේ දර්ශන සංජීව ජයසිංහ නැමැති 36 හැවිරිදි පුද්ගලයෙක්.

බරපතළ තුවාල ලැබූ ලි මෝල් හිමිකරු ඔහුට අයත් මෝටර් රථයෙන් හොරණ පොකුණුවිට දෙස සිට ගෝනපොල දෙසට පැමිණීමේදී අද අළුයම 1.00ත් 2.00ත් අතර කාලයේදී කුබුක පන්සල හන්දිය ආසන්නයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කළා.

යතුරු පැදියෙන් පැමිණ ඇති පුද්ගලයා මෝටර් රථය පැදවූ ලි මෝල් හිමිකරුට අතින් සංඥාවක් කර මෝටර් රථය නවතා එහි පිටුපස වයරයක් පැටලී ඇදී එන බවට පවසා ඔහු මෝටර් රථයෙන් බැසීමත් සමගම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව මොරගහහෙන පොලිසිය පැවසුවා.

මෝටර් රථයේ රියදුරු අසුනට පසුපස අසුනට අසල තිබෙන වීදුරුවට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවට සලකුණු දක්නට ඇතැයි පොලිසිය කියා සිටියා.

වෙඩි ප්‍රහාරය එම පුද්ගලයාගේ ගෙළ ප්‍රදේශයට එල්ල වී ඇති අතර ඇතිවූ වෙඩි ශබ්ද සමඟම ඒ ආසන්නයේ නිවසක සිටි පුද්ගලයන් දෙදෙනෙක් එම ස්ථානයට පැමිණ ඇති අතර තමන්ට කිසියම් පුද්ගලයකු බෝතලයකින් පහර දුන් බවට පවසා තමන්ව රෝහල්ගත කරන ලෙස ඔහු ඉල්ලා තිබූ බව පොලිසිය සඳහන් කළා.

අනතුරුව එම පුද්ගලයාන් විසින් බරපතළ තුවාල ලද පුද්ගලයා ව 1990 සුවසැරිය ගිලන් රථය මගින් හොරණ මූලික රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණා.

හිස් පතරොම් කොපුවක් මෝටර් රථයට ප්‍රතිවිරුද්ධ දිශාවේ මැද දූපතේ තිබී හමුවූ බව පොලිසිය කියා සිටියා.

බරපතළ තුවාල ලබා සිටින පුද්ගලයා මත්පැන් පානය කර කර ඇති බවට හොරණ මූලික රෝහලේ ප්‍රකාශකයෙකු ගෙන් තොරතුරු ලැබුණු බව පොලිස් නිලධාරියෙක් ඒෂියන් මිරර් වෙත පැවසුවා.

ඔහු ශල්‍යකර්මයකට ලක් කිරීමට ද පියවර ගත් බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.

වෙඩි තැබීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නොමැති බවත් ඔහු කිසියම් ස්ථානයක දී මත්පැන් පානය කර නිවස කරා යමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ පා ඇති බවට බොහෝ දුරට සැක කළ හැකි බවත් පොලිසිය පෙන්වා දුන්නා.

පානදුර අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වූ අතර මොරගහහේන පොලිසිය පරීක්ෂණ පවත්වයි.