hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූනි 07, පෙ.ව. 10:23



එරෝෆ්ලෝට් ගුවන් යානය රුසියාව බලා පියාසර කර වීම වලක්වන ලෙස දන්වමින් කටුනායක ගුවන් යානා පාලක මැදිරියේ ප්‍රධාන පාලක නිලධාරීවරයාට තර්ජනය කළ බව කියන නීතිඥවරයාට හා අධිකරණ පිස්කල් වරයාට එරෙහිව නඩු පැවරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවා.

මෙම නීතිඥවරයා හා අධිකරණ පිස්කල්වරයා ඉහත සඳහන් කළ ගුවන් පාලක ප්‍රධාන නිලධාරීවරයාට තර්ජනය කළ බවට තොරතුරු මේ වන විට වන විට අනාවරණය වී ඇති බව ද ඊට අදාළ වාර්තා ඉදිරි දින දෙක තුළදී ගෙන්වා ගෙන එම දෙදෙනාට එරෙහිව එසේ නීතිමය පියවර ගන්නා බවද රාජපක්ෂ මහතා පවසා සිටියා.

ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට හැකියාව ඇත්තේ අධිකරණ සේවා කොමිෂන් සභාවට බවද ඒ සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇති බවද අමාත්‍යවරයා පැවසුවා.

ගුවන් යානය පියාසර කර වීම වැළැක්වීමට පියවර නොගතහොත් අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කරන බවට අදාළ වී භික්ෂු වරයා හා පිස්කල්වරයා ගුවන් පාලක නිලධාරිවරයාට තර්ජනය කර ඇති බවද අමාත්‍යවරයා පැවසුවා.

අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට රජයට හැකියාවක් නොමැති නමුත් නිල වශයෙන් ප්‍රශ්න කිරීමට හැකියාවක් තිබෙන නිසා නීතිපතිවරයා මගින් අධිකරණය හමුවේ කරුණු දැක්වීම නිසා ගුවන් යානය පියාසර කර වීමට අත්හිටුවා තිබූ වාරණය ඊයේ (06) ඉවත් කර ගැනීමට හැකි වූ බව ද රාජපක්ෂ මහතා කියා සිටියා.

මෙම නියෝගය ලබා දීමේදී අධිකරණයෙන් කිසියම් අඩුපාඩුවක් සිදුව ඇති බව අධිකරණය පිළිගත් බවද ඒකපාර්ශවික වාරණ නියෝගය දෙනවිට අධිකරණය මීට වඩා දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කළ යුතුව ඇති බව ද රටේ පිළිගත් නීති පද්ධතිය අනුගමනය කළේ නම් එවැනි තත්වයක් උද්ගත වීමට ඉඩ නොතිබුන බවද ඒ මහතා පැවසුවා.

මෙවැනි නඩු අධිකරණය වෙත ඉදිරිපත් කරන විට රාජත්‍රාන්ත්‍රික ගැටලු ඇති නොවන පරිදි කටයුතු කිරීමට අදාළ නීතිඥවරුන්ට ද වගකීමක් තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළා.

එරෝෆ්ලෝට් හා අයිරිස් සමාගම් දෙක අතර ඇති කරගත් ජාත්‍යන්තර ගිවිසුමක් මෙරට අධිකරණය හරහා ක්‍රියාත්මක කර ගැනීමට උත්සාහ ගැනීමේදී මෙම පටලැවිල්ල සිදුව ඇති බවද ඔහු සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් තමා මෙරට රුසියානු තානාපතිවරයා හමුවී කථා කළ බවද මේ අවස්ථාවේදී ගුවන් යානය නිදහස් කිරීමට ශ්‍රී ලංකාව ගත් උත්සාහය අගය කරන බවද තානාපතිවරයා මහත් සතුටට පත් වූ බව ද ඊයේ (06) අධිකරණ අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.