hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූනි 05, ප.ව. 8:18



Aeroflot ගුවන් යානය පිළිබඳව අධිකරණයට නීත්‍යනුකූලව කරුණු ඉදිරිපත් කිරීමට මෙරට රජය තීරණය කර ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, කරුණු ඉදිරිපත් කර මෙය සමතයකට පත් කිරීම සඳහා හෙට (06) දිනයේදී නීතිපතිවරයා අධිකරණයට යන බව ය.

මෙමගින් අගතියට පත් පාර්ශවයන්ට වහා සහනයක් ලබා දීමට සහ මෙය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග නීතිමය රාමුව තුළ ගත යුතු බව නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ සඳහන් කළා,

“මේ ගුවන් යානයට ගොඩවෙලා තිබුණා මගීන් 191ක් පමණ. ඒ අයට තමන්ගේ ගමනාන්තයට යන්න බැරිවුණා. විශාල අපහසුතාවයකට පත්වුණා. ඒ වගේම මෙහි ප්‍රතිඵලයක් වශයෙන් එරෝෆ්ලොට් ගුවන් යානා එවීම  පිළිබඳව ගැටලුවක් ඇතිවුණා. අපේ සංචාරක ව්‍යාපාරය යම් ආකාරයකින් බලපෑමක් ඇතිවුණා. මේ රටේ ආර්ථිකය ගොඩනංවන්නට වැඩි ඩොලර් ප්‍රමාණයක් රටට ගේන්නට සංචාරක ව්‍යාපාරය ස්ථාපිත කරන්න යන මේ වෙලාවේ මේ ඇතිවුණ තත්ත්වය මත දැන් රජය උසාවියට ගිහිල්ලා මේ තීන්දුව නීත්‍යානුකූලව අපි කරුණු ඉදිරිපත් කරලා මෙයින් ජාතික ආර්ථිකයට සිදුවූ හානිය මගී ජනතාවට සිදුවූ හානිය හා මේ තීන්දුව පිළිබඳව තියෙන නීතිමය  පසුබිම පිළිබඳව අලුතෙනුත් කරුණු ඉදිරිපත් කරලා මේ තීන්දුවෙන් අගතියට  පත්වූ පාර්ශ්වයට සහන ලබාදීමටත් ඒ වගේම මෙය යථා තත්ත්වයට  පත්කිරීම සඳහාත් නීතිමය ක්‍රියාමාර්ගය නීතියමය රාමුව තුළ ගන්නවා. ඒ  සඳහා අපේ නීතිපතිතුමා සඳුදා උසාවියට වෙනමම අයදුම්පතක් අරගෙන යනවා උසාවියට ගිහින් කරුනු කියලා මෙය සමතයකට පත්කර ගැනීම සඳහා. මෙවැනි තත්ත්වයක් ඇතිවීම පිළිබඳව අපි කනගාටුවෙනවා. මේක රජයට විසඳන්න පුළුවන් දෙයක් නෙමෙයි. සමාගම් දෙකක් අතර ඇතිවුණ වාණිජමය ගැටලුවක් හා ආරවුලක්. උසාවිය මගින් දෙන ලද තීන්දුවලට අපි පළමුව ගරු කළ යුතු වෙනවා. එහි අඩුපාඩුවක් තියෙනවානම් අධිකරණයට ගිහිල්ලා ගෞරවාන්විතව ඒක ඉදිරිපත් කරලා එය විසඳා ගත යුතු වෙනවා. අධිකරණ නියෝගවලට අපිට අත ගහන්න බෑ. එහෙම වුණොත් කියයි මෙන්න අධිකරණ නියෝගවලට අතගහනවා නීතියේ ආධිපත්‍ය නැති කරනවා කියලා. අධිකරණය තමයි උත්තරීතර විධායකය හරි පාර්ලිමේන්තුව හරි නෙමෙයි”