2026 ඔක්තෝබර් 19, ප.ව. 5:24
ශ්රී ලංකා යුද්ධ හමුදාවේ සක්රීය දායකත්වය ඇතිව දින දෙකක් පුරා සිදුකල විශේෂ මෙහෙයුමකින් පසුව, ‘අග්බෝ’ වන අලියා අද දින (19) අනුරාධපුර දිස්ත්රික්කයේ නාච්චදූව ඉහත්තෑව කැලෑ ප්රදේශයේදී සොයාගන්නා ලදී.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මඟපෙන්වීම මත, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්රාමික) විසින් අදාළ මෙහෙයුම සඳහා යුද්ධ හමුදා භටපිරිස් වහාම යෙදවීමට අවශ්ය උපදෙස් ලබා දෙන ලදී.
පරිසර අමාත්යවරයා විසින් කරන ලද ඉල්ලීමකට ක්ෂණිකව ප්රතිචාර දක්වමින්, වනජීවී නිලධාරීන්ගේ සෙවුම් මෙහෙයුම් සඳහා අවශ්ය හමුදා සහාය ලබාදීමට ආරක්ෂක අමාත්යාංශය විසින් පියවර ගන්නා ලදී.
ඒ අනුව, මෙහෙයුමේ ආරම්භක අදියරේදී ශ්රී ලංකා යුද්ධ හමුදාවේ සෙබළුන් 30 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදවනු ලැබූ අතර, පසුව සෙවුම් මෙහෙයුම් වඩාත් පුලුල් කරමින් වනජීවී නිලධාරීන්ට සහාය වීම සඳහා යොදවා සිටි භටපිරිස් සංඛ්යාව 56 දක්වා ඉහළ නංවන ලදී.
21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කමින්ද සිල්වා ගේ සෘජු මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ භටපිරිස් විසින් මෙම මෙහෙයුම ක්රියාත්මක කරන ලදී. මීට අමතරව, ඇතා සිටින ස්ථානය නිවැරදිව නිරීක්ෂණය කිරීම සඳහා ශ්රී ලංකා යුද්ධ හමුදාව සහ ශ්රී ලංකා ගුවන් හමුදාව සතු drone යානා මෙම මෙහෙයුම සඳහා භාවිත කෙරිණි.
ඝන වනාන්තර ප්රදේශය තුළ ක්රියාත්මක කල මෙම අසීරු මෙහෙයුමේදී යුද්ධ හමුදා නිලධාරීන් වනජීවී නිලධාරීන් සමඟ ඉතා සමීප සහයෝගයෙන් කටයුතු කරමින් අවශ්ය දායකත්වය ලබා දෙන ලදී.
මෙම ‘අග්බෝ’ ඇතා මේ වන විට යහපත් සෞඛ්ය තත්ත්වයෙන් සහ සුරක්ෂිතව පසුවන බව වන ජිවී නිළධාරින් විසින් තහවුරු කර ඇත.
ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත ආරක්ෂක අමාත්යාංශය දැක්වූ කාර්යක්ෂම සම්බන්ධීකරණයත්, ජාතික වැදගත්කමකින් යුත් ඕනෑම අවස්ථාවකදී සිවිල් බලධාරීන්ට සහ සහායක අනෙකුත් සේවාවන්ට උපරිම සහාය ලබාදීමට ශ්රී ලංකා යුද්ධ හමුදාව දක්වන කැපවීමත් මෙම මෙහෙයුම මගින් නැවත වරක් තහවුරු වේ.
2026 ඔක්තෝබර් 19, ප.ව. 5:27
2026 ඔක්තෝබර් 19, ප.ව. 5:01
2026 ඔක්තෝබර් 19, ප.ව. 3:39
2026 ඔක්තෝබර් 19, ප.ව. 3:32
2026 ඔක්තෝබර් 19, ප.ව. 2:45