hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 ජනවාරි 21, ප.ව. 9:42



විදේශගත වන ශ්‍රමිකයන්ගෙන් 56%කගේම අධ්‍යාපන මට්ටම අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා පමණක් බව මානව හිමිකම් සහ ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ කුරුණෑගල ශඛාව (CHRCD) පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන්ගේ සංසද රැස්වීමේ දී අනාවරණය කර තිබෙනවා.

මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ සංක්‍රමණික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ සංක්‍රමණික සේවා ගිවිසුම් පිළිබඳ සිදු කරන ලද සමීක්ෂණයක් මගින්.

මැදපෙරදිග රටවලට සංක්‍රමණය වන සංක්‍රමණික ශ්‍රමිකයන්ගෙන් බහුතරයක් පුද්ගලික ආයතන හරහා විදෙස්ගත වන බවයි වාර්තා වෙන්නේ.

එහිදී ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා පමණක් වුවද, ඔවුන්ගෙන් 52% ක ප්‍රතිශතයක් සංක්‍රමණ සේවා ගිවිසුම ඉංග්‍රීසි භාෂාවෙන් අත්සන් කරන අතර අනෙකුත් සංක්‍රමණික ශ්‍රමිකයන් එම ගිවිසුම් අරාබි භාෂාවෙන් අත්සන් කරන බවයි පැවසෙන්නේ.

එබැවින්, විදේශ සංක්‍රමණික ශ්‍රමිකයෙකු එවැනි සංක්‍රමණික සේවා ගිවිසුමක් අත්සන් කරනුයේ ඒ පිළිබඳ නිසි අවබෝධයකින්ද යන්න පිළිබඳ කමිටුවේ අවධානය යොමු වූ බවයි කියන්නේ.

සංක්‍රමණික ශ්‍රමිකයින්ගෙන් 60% ක් කුවේටයට සහ ඉතිරි පිරිස සෞදි අරාබිය සහ අනෙකුත් මැදපෙරදිග රටවලට සංක්‍රමණය වන අතර, රැකියා සඳහා සංක්‍රමණය වන පිරිසෙන් 70% ක්ම ගෘහ සේවිකාවන් බවයි වාර්තා වන්නේ.

කාරක සභා සභාපති වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා තිබුණේ විගමණික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ විගමණික සේවා ගිවිසුමට අදාළව මතුව ඇති කරුණු සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කළ යුතු බව සහ අදාළ නිලධාරීන් සහ බලධාරීන් එම කමිටුව හමුවට කැඳවිය යුතු බවයි.