hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 07, ප.ව. 2:21



මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සතර මහා මංගල්‍යයන්ගෙන් එකක් වන අලුත් සහල් මංගල්‍යය ඊයේ (06) පෞරාණික චාරිත්‍රානුකූලව තේවාව භාර අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේත්, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු දළදා මාලිගාවේ තේවා කටයුතු සඳහා සම්බන්ධ වන කාර්ය මණ්ඩලයේත් සහභාගිත්වයෙන් සිදු කෙරුණා.

වාර්ෂිකව දළදා මාලිගාවේදී මංගල්‍යයන් හතරක් සිදු කෙරන අතර, ඉන් ප්‍රථමයෙන් පැවැත්වෙන්නේ අලුත් සහල් මංගල්‍යයයි.

ඉන් පසු පිළිවෙළින් අලුත් අවුරුදු මංගල්‍යය, පෙරහර මංගල්‍යය හා කාර්තික මංගල්‍යය පැවැත්වෙනවා.

ශ්‍රී දළදා මාලිගාවට අයත් කුඹුරු වලින් නෙළාගන්නා ප්‍රථම අස්වැන්න පෙරහරින් දළදා මාලිගාවට රැගෙන විත් දළදා සමිඳු උදෙසා පූජා කිරීම සෑම වසරකම දුරුතු පුන් පොහෝ දින සිදු කෙරෙන්නේ රජ සමයේ පටන් පැවත එන චාරිත්‍රවලට අනුකූලවයි.

අලුත් සහලින් පිසින ලද බුද්ධ පූජාව දළදා සමිඳු උදෙසා පූජා කිරීම තේවාව භාර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වන අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි, අස්ගිරි පරිවේණාධිපති, නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරංපනාවේ ආනන්ද යන නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සිදු කෙරුණා.