hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 01, පෙ.ව. 3:16



කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාවයේ නිරත පිරිස් ඒ අසල පිහිටි හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ පිළිරුවෙහි දෙනෙත් කළු පටියකින් ආවරණය කර තිබෙනවා.

ඒ ඉදිරිපිට “ඇහැරෙන්න” යනුවෙන් සඳහන් පුවරුවක් ද ප්‍රදර්ශනය කර තිබෙනු දක්නට ලැබුණා.

මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුල කතාබහක් මතුවුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ වන හිටපු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා පිළිබඳ එම පක්ෂය සිය මතය ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක ප්‍රතිමාවට නිගා වන ලෙස කටයුතු කරනු ලැබුවේ ගෝඨාගෝගම විනාශ කිරීමට තැත් කරන අන්තවාදී සහ බෙදුම්වාදී කණ්ඩායම් බවයි.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වාගෙන යනු ලබන අරගල භූමිය තුළ විවිධ අන්තගාමී සහ බෙදුම්වාදී බලවේග ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඔහු අවධාරණය කරනවා.

එහි එක් ප්‍රතිඵලයක් ලෙස පසුගියදා බණ්ඩාරනායක ප්‍රතිමාව සම්බන්ධයෙන් වූ සිදුවීම හඳුන්වාදිය හැකි බවයි හෙතෙම ප්‍රකාශ කළේ. 

ඒ අනුව බණ්ඩාරනායක ප්‍රතිමාව සම්බන්ධයෙන් සිදුවූ සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කනගාටුව ප්‍රකාශ කරන බවත් වහාම එම ප්‍රතිමාවට ආරක්ෂාව ලබාදීමට කටයුතු කළයුතු බවත් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කියා සිටියා.

ඒ අනුව මේ වනවිට ලැබී ඇති ජයග්‍රාහි අවස්ථාව ආරක්ෂා කර ගන්නා ලෙස තමා තරුණයින්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළා. 

“පසුගිය අප්‍රේල් මස 22 දා ටැමිල් ගාඩියන් වෙඩ් අඩවිය ලිපියක් පළ කරනවා. ගෝඨාගෝගම බණ්ඩාරනායක ප්‍රතිමාව බිඳ දැමිය යුත්තේ ඇයි කියලා. ඒ ලිපියෙන් ඔවුන් බණ්ඩාරනායක මහතාගේ දර්ශනයට අභියෝග කරනවා. මේ කථිකාව හරහා තමයි දෑස් බැඳ දැමීමේ සිද්ධිය නැවත නිරීක්ෂණය කරන්න වෙන්නේ. මීට එරෙහි වූ භික්ෂූණ් වහන්සේ නමකට පහරදීලා රෝහල්ගත කරා කියලා අපි මාධ්‍යවල දැක්කා. මේ තත්ත්වය අතිශය කනගාටුදායකයි.” යැයි ලක්ෂ්මන් පියදාස මහතා පෙන්වා දෙනවා.

රාජපක්ෂවරු ඉවත්වන තෙක් ඉදිරියේදී උද්ඝෝෂණ තත්ත්වයෙන් ඔබ්බට ගොස් වර්ජන තත්ත්වය කරා ද ගමන් කරන බවත් ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ද ලබාදෙන බවත් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: