2022 සැප්තැම්බර් 06, පෙ.ව. 9:33
වී අලෙවි මණ්ඩලයට අයත් පොළොන්නරුව අරලගංවිල වී ගබඩාවක 2015 යල කන්නයේ ගොවීන්ගෙන් මිලට ගත් විශාල වී තොගයක් දිරාපත් වෙමින් විනාශ වන බව ප්‍රදේශයේ ගොවීන් හා ගොවි සංවිධාන නියෝජිතයෝ පවසනවා.
රුපියල් ලක්ෂ 100ක වියදමින් ඉදිකරන ලද අරලගංවිල වී අලෙවි මණ්ඩලයේ ගබඩා දෙකෙන් එකකට වී අලෙවි මණ්ඩලයෙන් වී ලබාගෙන ඇත්තේ එක් වතාවක් පමණක් බවත්, මීට වසර තුනකට ඉහතදී ඉදිකරන ලද අනිත් ගබඩාව මෙතෙක් විවෘත කර නොමැති අතර ඊට මෙතෙක් වී මිලදී ගැනීමක් සිදුව නොමැති බවද ගොවීහු චෝදනා කරනවා.
එම ගබඩා සංකීර්ණයේ වහලවල සෙවිලි තහඩු විනාශ වී කැඩී ඇති ස්ථානවලින් වර්ෂා කාලවලදී ඇතුළට වැටුණු ජලයට වී කිලෝ ලක්ෂ ගාණක් කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකිව, දිරාපත් වී විනාශ වී ඇති බවත්, ඒවා 2015 යල කන්නයේ ගොවීන්ගෙන් මිලට ගත් වී තොග බවද මහවැලි බී කලාපයේ ව්‍යාපාර කමිටුවේ හිටපු ලේකම් සරත් රාජපක්ෂ මහතා සඳහන් කළා.
එක් ගබඩාවකට වන අලි හානිකර ඇති අතර, සොරසතුරන් ගබඩාවේ තහඩු ගැලවීමට උත්සාහ දරා තිබේ. මෙම ජාතික සම්පත් රැකගෙන මෙවර යල කන්නයේ මහවැලි බී කලාපය විජයබාපුර කොට්ඨාසයේ ගොවීන්ගේ වී මිලට ගැනීමට එම ගබඩා සූදානම් කරන ලෙසද අදාළ බලධාරීන්ගෙන් තමා ඉල්ලා සිටින බව ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.
මහජන මුදල් වැය කරමින් රජය මඟින් ඉදිකරන ලද ලක්ෂ සීයක් වටිනා මෙම ගබඩා සංකීර්ණ දෙක ප්‍රයෝජනයට නොගන්නේ නම් වෙනත් කර්මාන්තයක් හෝ ආරම්භ කරන ලෙසත්, මේ පිළිබඳව ජනාධිපතිවරයාගෙත්, අගමැතිවරයා මෙන්ම කෘෂිකර්ම අමාත්‍යවරයාගේ කඩිනම් අවධානය යොමු කර එය ප්‍රයෝජන ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙසද මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයන් ඉල්ලා සිටියා.
මෙම විනාශ වෙමින් පවතින වී ගබඩා සංකීර්ණ දෙකත්, දිරාපත් වන වී තොග පිළිබඳව වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරු දිස්ත්‍රික් කළමනාකාර නිමල් ඒකනායක මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී එම ගබඩා සංකීර්ණ වී අලෙවි මණ්ඩලයේ අම්පාර කළමනාකාරවරයාගේ භාරයේ පවතින බව ඔහු පැවැසුවා.
වී අලෙවි මණ්ඩලයේ අම්පාර දිස්ත්‍රික් කළමනාකාර ශාන්ත කුමාර මහතාගෙන් දුරකථනයෙන් අප කළ විමසීමකදී, පැවැසුවේ එලෙස දිරාපත් වන්නේ අබලි වී තොගයක් බවය. වී බෑග්වලින් ඉවත් වූ ඒවා එම ගබඩාවේ තිබෙන බවත්, එම අබලි වී නිකුත් කිරීමේදී කමිටුවක් හරහා ලබාදිය යුතු බවද ශාන්ත කුමාර මහතා කියා සිටියා.
අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සේවකයන් හිඟ නිසා අරලගංවිල වී ගබඩාවට වී මිලදී ගැනීම එක් කන්නයකදී අම්පාර සේවකයන් යොදවා කරගත් බවද ශාන්ත කුමාර මහතා සඳහන් කළා.
වී අලෙවි මණ්ඩලයෙන් මුදල් ලැබුණු විගස පොළොන්නරුව කාර්යාල මඟින් එම ගබඩාවට ගොවීන්ගේ වී අස්වනු මිලදී ගනු ඇතැයිද ශාන්ත කුමාර මහතා පැවැසුවා.
2024 දෙසැම්බර් 18, පෙ.ව. 11:56
2024 දෙසැම්බර් 18, පෙ.ව. 11:47
2024 දෙසැම්බර් 18, පෙ.ව. 11:40
2024 දෙසැම්බර් 18, පෙ.ව. 8:46
2024 දෙසැම්බර් 18, පෙ.ව. 12:13