hit counter

2026 ඔක්‍තෝබර් මස 14 වන බදාදා

2026 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:12



ජාතික හා පළාත් පාසල්වල පවතින පුරප්පාඩු වෙනුවෙන් පවත්වන ලද ගුරු තරග විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව, පළමු වටයේ සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලැබූ 17,000ක පිරිසකගේ නාමලේඛන අද දිනයේ සිට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය ඔස්සේ නිකුත් කරමින් පවතින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා පවසනවා.

ශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ඊයේ (14) කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළා.

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් සඳහා වූ සීමිත තරග විභාගය සහ සෙසු උපාධිධාරීන් සඳහා වූ විවෘත තරග විභාගය යන විභාග ද්විත්වයටම අදාළව මෙම තෝරාගැනීම් සිදුකර ඇති අතර, අදාළ ලේඛන වෙබ් අඩවියට උඩුගත කිරීමට යම් කාලයක් ගතවන බැවින් ඉවසීමෙන් යුතුව වෙබ් අඩවිය පරිශීලනය කරන ලෙසද ඔහු ඉල්ලා සිටියා.

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති සමස්ත ගුරු පුරප්පාඩු සංඛ්‍යාව 23,000ක් වන අතර විෂයයන් තෝරාගැනීම සහ පළාත් හා ජාතික මට්ටමින් වර්ගීකරණය කිරීමේ ක්‍රමවේදය අනුව පළමු අදියරේදී මෙලෙස 17,000ක පිරිසක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, ඉදිරි වටයන් හරහා එම අනුමත පුරප්පාඩු 23,000ම මෙම විභාග ප්‍රතිඵල පදනම් කරගනිමින් සම්පූර්ණ කිරීමට කටයුතු කරන බවද මෙහිදී අවධාරණය කෙරුණා.

ඒ අනුව පළාත් මට්ටමින් සහ ජාතික මට්ටමින් පැවැත්වෙන මෙම සම්මුඛ පරීක්ෂණ නොවැම්බර් මස 15 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර ඊට අදාළ නිශ්චිත උපදෙස් සහ තොරතුරු ඉදිරියේදී දැනුම් දෙනු ඇති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: