hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 මැයි 28, ප.ව. 8:31



බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ සිරුර සොයාගත් දැරියගේ මරණය ඝාතනයක් බවට සැක පළ කරන අතර වෙනත් ස්ථානයකදී ඝාතනය කර වගුරු බිමට ගෙනැවිත් දමා ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

නිවස ආසන්නයේ වගුරු බිමක තිබී දැරියගේ සිරුර සොයාගෙන ඇත්තේ ප්‍රදේශවාසීන් විසිනි.

දැරියගේ නිවසත් වෙළෙඳසැළත් අතර ප්‍රදේශයේ මෙම වගුරු බිම පිහිටා ඇති අතර සිරුර සොයාගත් අවස්ථාවේදී එය මඩවලින් වසා දමා තිබූ බවයි ඇසින් දුටුවෙක් සඳහන් කළේ.

ඊයේ පස්වරුවේ මෙම දැරිය අතුරුදන් බවට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවාග පසුව ඊයේ රාත්‍රි දරුවාගේ පියා පොලීසියට කැඳවා පැය 5 කට අධික කාලයක් ප්‍රශ්න කරනු ලැබුවේ ඔහු දෛනිකව මත්ද්‍රව්‍ය භාවිත කරන අයෙකු බවට තහවුරු වීම හේතුවෙන්.

පසුව එම දැරියගේ මව සහ ඥාතීන් ඇතුළු පුද්ගලයින් 22 කට ආසන්න ප්‍රමාණයකගෙන් පොලීසිය ප්‍රකාශ ලබා ගෙන තිබුණා.

CCTV දර්ශන ඔස්සේ සැක සහිත වූ වෑන් රථයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ පොලීසිය පිලියන්දල ප්‍රදේශයේ පදිංචි එහි හිමිකරුගෙන් ප්‍රශ්න කරනු ලැබුවා.

පසුව ඔහු සිද්ධියට අදාළ නොමැති අතර අසල වෙළඳසැලකට භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණි අයෙකු බවට තහවුරු වූ බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියට අදාළව ලබාගත් ප්‍රකාශ වලදී පානදුර ප්‍රදේශයේ පදිංචි දැරියගේ පියාගේ ඥාතියෙකුගෙන් ද පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබුණා.

ඊයේ උදෑසන සිය නිවසට මීටර් 250 ක් පමණ දුරින් පිහිටි කුකුළු මස් වෙළඳසැලකට ගොස් ඇති මෙම දැරිය යළි නිවසට පැමිණ තිබුණේ නැහැග ඉන් පසුවයි දැරියගේ දෙමව්පියන් පැමිණිල්ලක් සිදුකරනු ලැබුවේ.

CCTV දර්ශන අනුව ඇය වෙළඳසැලෙන් කුකුළු මස් මිලදී ගෙන යළි නිවස දෙසට පැමිණෙන දර්ශන ද පොලීසිය නිරීක්ෂණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇගේ නිවසේ සිට මීටර් 150 ක් පමණ දුර ප්‍රදේශයේ කිසිදු ස්ථානයක CCTV කැමරා කිසිවක් සවි කර තිබී නැහැ.

පසුව දැරිය සොයා පොලිස් කණ්ඩායම් 4 ක් විමර්ශන ආරම්භ කළා.

ඇය පිටකොටුව ප්‍රදේශයේ රැදී සිටින බවටද තොරතුරක් ලැබී තිබුණත් අටලුගම ප්‍රදේශයේ කැලෑබද ස්ථාන නිරීක්ෂණය කරන ලෙසට ද පොලීසිය ප්‍රදේශවාසීන්ට දැනුම්දී තිබුණා.

ඒ අනුවයි ප්‍රදේශවාසීන් පිරිසක් වගුරු බිමේ තිබූ දැරියගේ සිරුර සොයා ගෙන ඇත්තේ.

අද පස්වරුවේ හොරණ මහේස්ත්‍රාත්වරයා සහ අධිකරණ වෛද්‍ය නිලධාරියා පැමිණ දැරියගේ සිරුර සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණ පවත්වනු ලැබුවා.