hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 28, පෙ.ව. 8:49



රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් ඉකුත් වර්ෂයේ දි (2021) රුපියල් එක්කෝටි දශලක්ෂ හැටඅටදහස් හයසිය පනහක්  වියදමක් දරා පැරසිටමෝල් DC 90නැමති අමුද්‍රව්‍ය කිලෝග්‍රැම් 6000ක් මිලදිගෙන තිබු අතර එකි අමුද්‍රව්‍යවල සාම්පල්  ටෙන්ඩර් ඇගයිමට ප්‍රථම පරික්ෂාකර ගුණත්වය තහවුරු කර ගැනිමට කටයුතු කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

ඒ වෙනුවට සැපයුම්කරු විසින් ඉදිරිපත්කර තිබු විශ්ලේෂණ වාර්තා මත පමණක් පදනම්ව සංස්ථාවේ තත්වපාලන අංශය විසින් ඖෂධ නිෂ්පාදනය සදහා එකි අමුද්‍රව්‍ය නිදහස් කර තිබු බවද විගණනය මගින් අනාවරණය වී තිබෙනවා.

මෙම අමුද්‍රව්‍ය සැපයුම්කරුවන් තිදෙනෙකුගෙන් මිලදිගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ප්‍රසම්පාදන කමිටුව විසින් සැපයුම්කරුවන්ගේ ටෙන්ඩර් සාම්පල් සංස්ථාවේ රසායනාගාරය මගින් අනුමත කළ යුතු බවට නිර්දේශකර තිබුනද එකී සාම්පල් පරික්ෂා කර නොතිබූ බව සඳහන්. මෙම සැපයුම්කරුවන් තිදෙනාම අදාල අමුද්‍රව්‍ය සැපයිම සම්බන්දයෙන් පෙර සැපයුම්කරුවන් නොවු අතර ඔවුන් තිදෙනාම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වී නොතිබූ බවද විගණන වාර්තාවේ සදහන්.

එමෙන්ම සංස්ථාවේ වට්ටෝරු සංවර්ධන හා නිෂ්පාදන දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබු යන්ත්‍ර පෙරහුරු පරික්ෂාවේදී සමත්විය යුතු අවශ්‍යතාවයන් සම්බන්දයෙන් සැපයුම්කරුවන් දෙදෙනෙකු විසින් සපයා තිබු අමුද්‍රව්‍ය අසමත් වි තිබු බවද විගණන වාර්තාවේ සදහන්. එක් සැපයුම්කරුවකුගේ යන්ත්‍ර පෙරහුරු පරික්ෂණ වාර්තා විගණනය සදහා ඉදිරිපත් කර නොතිබූ බවද වාර්තා වනවා.

කෙසේවුවද මේ පිළිබද ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කර ඇත්තේ කොවිඩි වසංගතය හමුවේ පරසිටමෝල් ඖෂධයේ අධික අවශ්‍යතාවයද සැලකිල්ලට ගෙන අමුද්‍රව්‍යවල තත්වය සියයට සියයකින්  තහවුරු කර ගැනිමෙන් අනතුරුව තත්ව පාලන අංශය විසින් ඖෂධ නිෂ්පාදනය සදහා අමුද්‍රව්‍ය නිදහස් කළ බවයි.

ඖෂධවල ගුණත්වය පිළිබද විගණන වාර්තාවේ දක්වා ඇති ආර්ථ නිරූපනය නිවැරදි නොවන බව ද කළමණාකාරිත්වය විසින් සඳහන් කර තිබෙනවා.

ඖෂධයක ගුණත්වය යනු එකි ඖෂධය රෝගියකු අතට පත්වන අවස්ථාවේ ඖෂධයක තිබිය යුතු ප්‍රමිතිය වන බව කළමණාකාරිත්වය විසින් සදහන් කර ඇතැයි වාර්තා වනවා.

යන්ත්‍ර පරික්ෂාවේ දි මතුවන ගැටළු නිෂ්පාදන ක්‍රියාවලියේ දි මතුවන අවහිරතාවයන් බවද කළමණාකාරිත්ව විසින් විගණනයට සදහන් කර තිබුණා.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණා.