hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ඔක්‍තෝබර් 29, පෙ.ව. 6:34



ආසන 2000කින් යුත් ගාල්ල නව ශ්‍රවණාගාරය ඉදිකිරිමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවීම නිසා ඒ සදහා වැය කළ රුපියල් මිලියන 874ක මුදලක් අපතේ ගොස් ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ශ්‍රවණාගාරය ඉදිකිරිමේ අවශ්‍යතාවය හදුනා ගැනිමකින් තොරව සිදුකිරිම හේතුවෙන් ඒ සදහා වැයකළ මෙම මුදල අනාර්ථික වියදමක් වි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

ඉදිකිරිම සදහා ගෙනවිත් තිබු විවිධ වානේ පයිප්ප ඉදිකිරිම් කාර්යය සදහා භාවිතා කරන වෙනත් උපකරණ විශාල ප්‍රමාණයක් ව්‍යාපෘති භුමියේ ස්ථාන කිහිපයක අනාරක්ෂිතව ගොඩ ගසා තිබෙනවා.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය සදහා ඉදිකර තිබු තාවකාලික ගොඩනැගිල්ල ද විනාශ වෙමින් පවතින බව වාර්තා වෙනවා. 

ව්‍යාපෘතිය සදහා පවරාගනු ලැබු හෙක්ටයාර් 2709ක වපසරියකින් යුතු ඉඩමද ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවිම නිසා  නිෂ්කාර්යව පැවති බව  විගණන වාර්තාවේ සදහන් වෙනවා.

පසුගිය රජය පැවති කාලයේදි එනම් 2019 වර්ෂයේදි මේ සදහා මුල්ගල් තබා ඉදිකිරිම් කටයුතු ආරම්භ කරණු ලැබූ බව වාර්තා වෙනවා.

කෙසේවුවද  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය බලයට පත්විමෙන් පසු මෙම ව්‍යාපෘතිය සදහා කැබිනට් අනුමැතිය නොලැබිම නිසා  2021 ජනවාරි මස 29 දිනෙන් පසුව කොන්ත්‍රාත් කාලය දිර්ඝ නොකිරිමට කටයුතුකර තිබුණා.

මේ හේතුවෙන් ශ්‍රවණාගාරය ඉදිකිරිම සදහා වෙන්කොට ඉතිරිව තිබු  රුපියල් මිලියන 174.793 මුදල නැවත ස්වදේශ කටයුතු අමාත්‍යංශයට යැවිමට කටයුතු කර තිබුණා.

මෙම ශ්‍රවණාගාරය ඉදිකිරිම සදහා 2019 වර්ෂයේ දි  රුපියල් මිලියන 2,656.877ක ගිවිසුමකට එළඹ තිබෙනවා.

මෙම ව්‍යාපෘතියේ මුල් ඇස්තමේන්තුව රුපියල් මිලියන 1700ක්.

එහෙත් අමාත්‍ය මණ්ඩල තිරණ අනුව අවස්ථා දෙකකදි පිළිවෙළින් රුපියල් මිලියන 2,657ක් හා රුපියල් මිලියන 3,155 දක්වා සියයට 86කින් ඇස්තමේන්තුව වැඩිකර තිබු බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

ශක්‍යතා අධ්‍යයනයක් සිදුනොකිරිම මේ සදහා හේතුවි තිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

එමෙන්ම ගිවිසුම් ප්‍රකාරව මෙම ව්‍යාපෘතියේ වැඩ අවසන්කර නොතිබු අතර භෞතික ප්‍රගතිය සියයට 15ක් තරම් අඩු මට්ටමක පැවති බවත් නිම කළ වැඩ සදහා රුපියල් මිලියන 238.953ක් ගෙවිමට ඇති බවද විගණන වාර්තාවෙ සදහන් වෙනවා.

කෙසේවුවද  2022 පෙබරවාරි  22 දිනැති අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් ව්‍යාපෘතියේ නොනිමි ගොඩනැගිම්  වෙනත් කාර්යක් සදහා යොදා ගැනිමට හැකියාව පවතින්නේ ද යන්න පිළිබද  පරික්ෂාකර වාර්තාවක් ලබාදිමට උපදෙස් දි තිබුණා.

 මේ පිළිබද ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරසිංහ මහතාගෙන් ඒෂියන් මිරර් අප කළ විමසුමකදි මෙසේ සඳහන් කළා.

“ආර්ථික ආර්බුදය හමුවේ මෙම ව්‍යාපෘතිය තාවකාලිකව නතර කරලා තියෙනවා. ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින්  අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කරලා මෙම ව්‍යාපෘතිය සම්බන්දයෙන් තීන්දුවක් ගැනිමට බලාපොරොත්තුවෙන්  සිටිනවා.”