hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 02, පෙ.ව. 11:31



අසාධු ලේඛනයට ඇතුළත් කර සිටින රාජ්‍ය නිලධාරීන්ගේ නාමලේඛනය රජය ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

ඒ අනුව, රජයේ සේවයෙන් ඉවත් කර නැවත සේවයට බඳවා නොගත යුතු නිලධාරීන් පිළිබඳ විස්තර ඇතුළත් කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ආයතන අංශය අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, මධ්‍යම රජයේ සේවයෙන් හා පළාත් රාජ්‍ය සේවයෙන් ඉවත් කරන ලද නැවත සේවයට බඳවා නොගත යුතු නිලධාරීන් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා නාමලේඛනය ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වෙනවා.

2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති නාම ලේඛනය තුළ මධ්‍යම රජයේ නිලධාරීන් අසාධු ලේඛනගත කිරීම් 85ක් ද, පළාත් රාජ්‍ය නිලධාරීන් අසාධු ලේඛනගත කිරීම් 324ක් ද, නැවත සේවයේ පිහිටුවූ නිලධරයන්ගේ නම් අසාධු ලේඛනයෙන් ඉවත් කිරීම් 01ක් ද ඇතැයි සඳහන් කර තිබෙනවා.

2018 වර්ෂයට අදාළව නිකුත් කර ඇති නාමලේඛනය තුළ මධ්‍යම රජයේ නිලධාරීන් අසාධු ලේඛනගත කිරීම් 530ක් ද, නැවත සේවයේ පිහිටු වූ නිලධරයන්ගේ නම් අසාධු ලේඛනයෙන් ඉවත් කිරීම් 03ක් ද ලෙස දක්වා තිබෙනවා.

2016 වර්ෂයේදී මධ්‍යම රජයේ නිලධාරීන් අසාධු ලේඛනගත කිරීම් 104ක් ද, පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන් අසාධු ලේඛනගත කිරීම් 109ක් ද, 2015 වර්ෂයට අදාළව මධ්‍යම රජයේ නිලධාරීන් අසාධු ලේඛනගත කිරීම් 137ක් ද, පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන් අසාධු ලේඛනගත කිරීම් 68ක් ද ඇතැයි එම නිවේදනය මගින් පෙන්වා දෙනවා.

2014 වර්ෂයට අදාළව මධ්‍යම රජයේ නිලධාරීන් අසාධු ලේඛනගත කිරීම් 32ක් ද, පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන් අසාධු ලේඛනගත කිරීම් 30ක් ද, පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන් අසාධු ලේඛනයෙන් ඉවත් කිරීම් 01ක් ද තිබෙන බව එහි දැක්වෙනවා.

එසේ ම, 2012 වර්ෂයට අදාළව මධ්‍යම රජයේ නිලධාරීන් අසාධු ලේඛනයෙන් ඉවත් කිරීම් 29ක් ද, පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන් අසාධු ලේඛනගත කිරීම් 50ක් ද, පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන් අසාධු ලේඛනයෙන් ඉවත් කිරීම් 04ක් ද ඇතැයි පෙන්වා දෙන එම නිවේදනය 2009 වර්ෂයේදී අසාධු ලේඛනගත කිරීම් 280ක් ද, අසාධු ලේඛනයෙන් ඉවත් කිරීම් 06ක් ද ඇතැයි සඳහන් කරනවා.

2023 වර්ෂයේ අසාධු ලේඛනයට ඇතුළත් කර ඇති නිලධාරීන් වැඩි පිරිසක් ජාතික විගණන කාර්යාලය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව, පොලිස් මූලස්ථානය, ගොඩනැගිලි දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යංශය යන ආයතනවල සේවය කර තිබෙනවා.

එසේ ම, 2018 වර්ෂයේ අසාධු ලේඛනය තුළට ඇතුළත් කර ඇති නිලධාරීන් වැඩි පිරිසක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය, රාජ්‍ය පරිපාලන කළමනාකරණ හා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, විශේෂ කාර්ය බළකාය, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව යන ආයතනවල සේවය කර තිබෙනවා.