hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 ජනවාරි 18, පෙ.ව. 9:00



උප්පැන්න සහතික අයැදුම්පත් අවසන් වී ඇති බැවින් මරණ සහතික අයැදුම්පතෙහි උප්පැන්න බව සඳහන් කොට අවශ්‍ය තොරතුරු පුරවන්න යැයි දන්වමින් තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිවේදනයක් ප්‍රදර්ශනය කර තිබෙනවා.

රෙජිස්ට්‍රාර් කාර්යාලය සතුව ප්‍රමාණවත් කඩදාසි නොමැතිකමින් මේ තීරණය ගැනීමට ප්‍රාදේශීය ලේකම්වරිය අවසර ලබා දුන් බවයි වාර්තා වන්නේ.

මේ ගැටලුව පිළිබඳව රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලය දැනුවත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා අවසර ලබා දී ඇති බව ආරංචි මාර්ග සඳහන් කළා.

දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ම මෙම කඩදාසි ගැටලුව හටගෙන ඇති බවත් ඒ සඳහා විසඳුමක් ලෙස පමණක් මෙම අතිරික්ත අයැදුම්පත්‍රයක් සංශෝධනය කරමින් භාවිත කරන බවත් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියක් සඳහන් කළා.

මෙවැනි කාරණාවක් සම්බන්ධයෙන් සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් (දකුණු කලාපය) කිසිදු අවසරයක් ලබා නොදුන් බවත් මේ පුවත සම්බන්ධයෙන් තම කාර්යාලය ද දැනුවත් වූයේ පසුව බවත් එහි උසස් නිලධාරියෙක් සඳහන් කළා.

තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අත්තනෝමතික තීරණයක් මත මෙය සිදුකර ඇති බවත් මේ සඳහා කිසිදු අවසරයක් ගෙන නොමැති බවත් රෙජිස්ට්‍රාර් ජනරාල් පී.එස්.පී. අබේවර්ධන මහතා ප්‍රකාශ කර තිබෙනවා.

මේ වන විටත් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සතුව ලක්ෂ 4ක පමණ අයැදුම්පත්‍ර මුද්‍රණය කර තිබෙන අතර ඒවා නිසි වේලාවට ලබා නොගැනීම නිසා ඇති වූ අයැදුම්පත්‍ර හිඟයට මෙලෙස දැන්වීමක් නිකුත් කර තිබෙන බවත් හෙතෙම පෙන්වා දුන්නා.

සිද්ධිය සම්බන්ධයෙන් හා මෙවැනි අසත්‍ය තොරතුරු ලබා දීම පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් ආරම්භ කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.